මං පුරුදු විදිහට කෝපි කෝප්පයත් අරගෙන බැල්කනියට ගියා. . . හැමදාම උදෑසන කෝපි කෝප්පයත් අරගෙන බැල්කනියට යන එක පුරුද්දක් වෙලා තිබුණා. නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ අපේ නිවස පිහිටා තිබීම නිසා හැමදාම උදේට මට දකින්න සුන්දර දසුනක් එතන තිබුණා. . එක් පසෙකින් අධිවේගී මාර්ගය දිස්වන අතර අනෙක් පසින් නාගරික උද්‍යානය හා ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ල දිස්වුණා. කොහොම වුණත් අද මං මේ නවාතැනට සමුදෙන දවස. . . . . .
"දමී ඇතුළට එන්න.., පෙබරවාරියේ සීතල හුලං වදින්න හොඳ නෑ. . ."
ඒ ඔල්ගාගෙ කටහඬ. . . .
මං එය නෑසූකන්ව අතීතය ආවර්ජනය කරමින් සිටියා. . . . . .
ඔල්ගා. . . .
මට ඔල්ගාව මුණගැහෙන්නෙ මං අවන්හල් හා සම්බන්ධ පාඨමාලාවකට අයදුම් කරන්න ගිය අවස්ථාවකදි. . ඇය එම ආයතනයේම ගිණුම් කටයුතු අංශයේ සේවය කරමින් සිටියා. පරිඝණක තිර දෙකක් අතරින් නිල් පාට ඇස් දෙකක් මං දිහා බලන් හිටියා.
"එයාට තිබුණේ නිල් පාට ඇස් දෙකක්. . . . . ."
මොල්දාවියානු ජාතික මවගේ රතු පැහැයට හුරු කොන්ඩයත්., ඉතාලි ජාතික පියාගේ නිල් පැහැ ඇසුත් ඇයට උරුම වෙලා තිබුණා. මං පාඨමාලාවට සම්බන්ධ වී කෙටි කාලයක් ගත වෙද්දී අපි අතර තිබුණ හැඳුනුම්කම මිත්‍රත්වයක් දක්වා වර්ධනය වුණා. සුහද හමු කිහිපයකට පස්සෙ අපි බොහොම සමීපයෙන් ආශ්‍රය කරන්න පටන් ගත්තා.
කාලය ගතවෙලා ගියා. . .
2007 වසරේ සිසිරයේ හැන්දෑවක අපි මිලානෝ නගර මධ්‍යයේ ඇති අවන්හලක මුණගැහුණා. . .
මේ වන විටත් අපි තීරණයකට එළැඹ අවසන්.
"අපිට පුළුවන් අඩු ගාණකට බිලොකාලයක් (කොටස් දෙකකින් සමන්විත කුඩා මහල් නිවාස ඉතාලියේ හැඳින්වූයේ ඒ නමින්) හොයා ගන්න.."
"අපි ටිකක් මිලානෝ නගර සීමාවෙන් පිටට වෙන්න බලමු...."
එයා සුදුමැලි ඇඟිලි වලින් මර්තීනි වීදුරුවෙ රටා අඳිමින් සිටියා.
"මං දන්නෑ දමී.. ඔයා තැනක් හොයන්න.. අත්තිකාරම් මුදලෙන් කොටසක් අම්මා දෙන්නම් කිවුවා.."
"අම්මගෙ සල්ලි ගන්න එක හිතට හරි මදි මගේ"
"නෑ ඒ ගැන තාත්තාට දැනගන්න තියන එකක් නෑ. . ."
අපි එකට වාසය කිරීමට ගත් තීරණය ගැන ඔල්ගාගෙ පියා ඒ හැටි කැමැත්තක් පෙන්නුම් නොකලත් අවුරුදු විසි තුනක් වයසැ'ති තරුණියකගේ තීරණ මත බලපෑම් කිරීමේ හැකියාවක් මේ සංස්කෘතිය තුළ නොතිබීම හේතුවෙන් ඔහු නිහඬවම මේ දෙස බලා සිටියා. නූගත් වඩුකාර්මිකයෙකු වුණ ඔහුට මම තවත් ඉන්දියන් මැජික්කරුවෙක් පමණක් වුණා. . . .
ඇගේ මව මේ සම්බන්ධයෙන් සුහද ආකල්පයක් දැරුවේ ඇයද මා මෙන්ම සංක්‍රමණිකයෙකු වූ නිසාද., නැතහොත් ඔවුන්ගේ කුඩා නිවස තුළ පෞද්ගලිකත්වය රැක ගැනීම උදෙසා ඔල්ගාගේ පිටවීම අනිවාර්ය වූ නිසාද යන්න අදටත් මට නොවැටහේ. මේ අතර මගේ පූර්ණ අවධානය යොමුවී තිබුනේ මිලානෝ නගරයේ පිරී සිටින මගේ නෑසියන්ගෙන් වහන් වී මේ සියළු කටයුතු සිදුකිරීමටයි. නගරයෙන් මදක් පිටතට වන්න නිවසක් සොයා ගැනීමට මා තීරණය කලේද මේ හේතුව නිසාවෙනි.
සති කිහිපයකට පසු අපි අපේ අළුත් නිවහනට ගොඩවැදුණෙමු..
කාමර දෙකකින්, කුඩා සඳළුතලයකින්, අංග සම්පූර්ණ නාන කාමරයකින් හා සාලයටම ඇල්ලූ අමෙරිකානු තාලයේ කුඩා කුස්සියකින් මේ නිවස සමන්විත වුණා. ගෙදරකට අවශ්‍ය බඩු මුට්ටු සියල්ලක්ම පාහේ එහි තිබූ අතර අපට මිලදී ගැනීමට සිදු වූයේ රූපවාහිනියක් හා ශීතකරණයක් පමණි. (කුලියට ලබා දෙන මෙවැනි නිවෙස් casa arredata (සරසන ලද නිවෙස්) නමින් ඉතාලියේ හැඳින්වෙයි.) නිවසට ඇතුල් වී මාසයක් ගතවූ තැන නිවස අංගසම්පූර්ණ කර ගැනීමට අපට හැකිවිණ.
"මේ තමයි අපේ මාළිගේ. . . ."
නිවසේ පදිංචියට ගිය දින අපි වැළඳගෙන බෙරිහන් දුන්නෙමු.
ඉන්පසු අපේ ජීවිත වේගයෙන් ගලා යන්නට විය. . . . .
අපි එකට කෑවෙමු, බීවෙමු, සයනය කලෙමු, ගමන් බිමන් ගියෙමු. . .
සියල්ල එලෙස සිදුවෙමින් පැවතිණ.
අදටත් මම ඉඳහිට අතීතයේ එම කාලපරිච්ඡේදයට ගොඩවෙමි. අදටත් මට නොවැටහෙන යම් කරුණු තේරුම් ගන්නට උත්සහා දරමි.
"මම සැබවින්ම ඔල්ගාට ආදරය කලාද..?"
හිතට එකඟව. , අවංකව දිය හැකි සරලම පිළිතුරනම් නැත යන්නයි. මට ඇය ප්‍රියමනාප චරිතයක් විය. ., ඇය සමීපයෙන් සිටින්නට මම ආසා කලෙමි. මව්ගේ ආභාශය හේතුවෙන් ඇය කාර්යශූර, ස්වාධීන තරුණියක් විය. (පැරණි සෝවියට් දේශයෙන් කැඩී ගිය මොල්දාවියා, යුක්‍රේනය වැනි රටවල කාන්තාවන් ස්වභාවයෙන්ම ස්වාධීන දැඩි ගති ඇති අය විය.) ඉවුම්පිහුම් කටයුතු වලදීද ඇය දක්ෂ විය. මට අදටත් ඇයගේ කිසිම වරදක් (මගේ වාසිය පිණිසවත් සොයාගත නොහැකිය. එසේනම් මට ඇය නුරුස්සන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසාද. ?
පළවෙනි තුන්මස ගෙවී ගිය පසු මට ගෙදර රැඳී සිටීම ඒකාකාරී වදයක් වන්නට විය. මම සුපුරුදු ලෙස මිතුරන් හමුවීමට (රස්තියාදු ගැසීමට) කාලය ගත කරන්නට වුණෙමි. පෙර මා සමග නිතර මිතුරන් මුණගැසීමට,විනෝද වීමට පැමිණි ඇය කෙමෙන් කෙමෙන් ඒ දේවල් මගහරින්නට වූවාය. "අපේ මාලිගය" තුළ සියළු දෙයක්ම අකුරට, පිළිවෙලට සිදුවෙමින් පැවතුණි. වෙනදා අහාරගත් පසු භාජන පිරිසිදු කිරීමට ඇයට උදව්වුණ මම ඒ සියළු දේ මග හරිමින් සිටියෙමි. නිවසට අවශ්‍ය කලමනා ආදිය ගැනීම ඇය තනිවම සිදු කරන්නට විය. මට වචනයකින් හෝ කිසිවක් නොපැවසූ ඇය සියල්ලම මනා ලෙස හසුරුවා ගත්තාය.
භයානක සත්‍යය මට අවබෝධ වෙමින් තිබුණි. . . .
මම ඇයට ආදරය කර නැත.
එසේනම් ඇය සමග එකට විසීමට මම පෙළඹුනේ ඇයි.?
මීට පෙර මා නැවතී සිටියේ මාගේ නැන්දා කෙනෙකුගේ නිවසෙහිය. එහි වූ දැඩි නීතිරීති නිසාවෙන් මම එයින් පිටවීමට තීරණය කර සිටියෙමි. එය හැරෙන්නට මට වෙන කිසිම භෞතික හේතුවක් නොවීය. ඇය සමග ජීවත්වීමට මා ප්‍රිය කළෙමි.
නමුත් මම ඇය තුළින් ඇය නොවෙන කෙනෙකුන් සොයමින් සිටියෙමි. . . .
සොයමින් සිටින්නේ කුමක්ද යන්න පිලිබඳ පැහැදිලි චිත්‍රයක් මා සතු නොවුණි.
එය මගේ අතීත ප්‍රේමයක මතක අවතාරයක්ද..? මගේ ෆැන්ටසි මනෝලෝකයේ නිපැයුමක්ද..? මේ කිසිවක් අදටත් මට විග්‍රහ කර ගැනීමට නොහැකි වූ ප්‍රශ්නාර්ථයන්ය. . . ?
සියල්ල කෙළවරවිය යුතු දිනය එළඹ තිබුණි. . . . . .
මට මතක ඇති අයුරින් ඒ අප අතර ඇතිවුණු දරුණුතම බහින්බස් වීම විය. ඇයගේ ඤාති සොහොයුරියකගේ නිවසක පැවති සාදයකට සහභාගී වීම අරඹයා යුද්ධය ප්‍රකාශ විය. මම හිතාමතාම නිවසට වේලාවට නොපැමිණියෙමි. මම නැවත එනවිට ඇය ගමන අතහැර යුද්ධය පිණිස සූදානම්ව සිටියාය.
"උඹට මොකද වෙලා තියෙන්නෙ. . ? "(උඹ යන අදහස ගම්‍ය වන tu නැමැති යෙදුම ඉතාලි භාශාවේ තමන්ට හිතවත්, දන්නා අඳුනන අය උදෙසා භාවිතාවේ., ඔබ නොහොත් lei, lui යන්න නාඳුනන, ගරුකටයුතු පුද්ගලයන් සඳහා විරළව භාවිතා වේ)
ඇය පළවෙනි බෝම්බය පුපුරවා හැරියාය.
"උඹ අතීතකාමියෙක්. . උඹ මෙහෙ හිටියට හිතින් ජීවත්වෙන්නෙ ලංකාවෙ"
"උඹටම හරියන punkලා ටිකක් උඹට සෙට් වෙලා ඉන්නෙ"
"උඹ යන හැම pub එකක්ම මං දන්නවා..උඹ අන්තිමට ඇවිත් කියන්නෙ පට්ට පල් බොරුවක්"
"මං මේ හැම දෙයක්ම උඹට නොකියා හිටියේ.. ඒත් අද උඹ මගේ විශ්වාසය කැඩුවා.."
"උඹ වගකීමක් නැති මිනිහෙක්. . . "
ඇය දිගින් දිගටම මට පහර දෙමින් චෝදනා නගමින් සිටියාය.මං නිහඬවම බැල්කනිය දෙසට ඇදුනෙමි. මගේ නිහඬ බවත් සාවඥ සිනාවත් ඇයව වියරු වට්ටා තිබුණි.
දඩාං.....!
මම සාලය දෙසට එබුණෙමි.
මා විසින් වැනීසියට ගිය අවස්ථාවක මා විසින් මිලදී ගත් සිහිවටනයක් ඇය පොළොවේ ගසා තිබුණි. බැල්කනියේ සිටි මා නිවස තුළට ගෙන්වා ගැනීමට ඇයට වුවමනා විය. මම මෙය බලාපොරොත්තුවෙන් සිටියෙමි. මම ගොස් ඇගේ දෙවුරින් අල්වාගතිමි. ඇය වියරුවෙන් මෙන් මට පහර දෙන්නට වූවාය. මිට මොලොවා ඇයට පහර දීමට අකැමැති වූ මම ඇය සමග පොර බදින්නට වුණෙමි. . .ඇය සයනය මතට තල්ලු කර දැමූ මම යළි මගේ ජැකට්ටුව ඇඟලා ගතිමි.
නිහඬතාවයකි. . .
සයනය මත මුනින්තලා වී සිටි ඇගේ දෙවුර කිසියම් රිද්මයකට චලනය විය. ඇය ඉකිබිඳිමින් සිටියාය.
මම නිවසින් පිට වී ගියෙමි. . . . . . . . . . .
මා යළි නිවසට ඇතුල් වූවේ තරමක් රෑ බෝ වූවාට පසුවය.
ඇය අවදියෙන් සිටියාය. . .
කෑම මේසය මත වොඩ්කා බෝතලයක් විවර වී තිබුණි. මම වීදුරුවක් හලාගත්තෙමි. ඔල්ගා ඇගේ සුපුරුදු පූස් ගමනින් සාලය පුරා සක්මන් කරමින් සිටියාය. මම මවෙතට එන ලෙසට ඇයට හිසින් සන් කලෙමි. හිස් වූ ඇගේ වීදුරුව මදෙසට දිගු කරමින් ඇය මවෙත පැමිණියාය. අප එක්ව මෙසේ පානය කරන්නේ බොහෝ කලකට පසුවය. මුල් දිනවල විවිධ කොක්ටේල් වර්ග අත්හදා බලමින් අපි සූර් වී ඇද වැටුන අවස්ථා අනන්තය.
"ඔල්ගා.., මම තීරණයක් ගත්තා. ."
මම කථාවට මුල පිරුවෙමි.
"අපිට මේ විදිහට පවතින්න බෑ. ."
ඇගේ සුදුමැලි දිගු ඇඟිලිතුඩු මගේ හිසකෙස් අතර ඒ මේ අත ගමන් කරන්නට විය. මට හුරුපුරුදු වුණු ඇගේ සුවඳ වඩාත් තියුණු ලෙස මට දැනෙමින් තිබුණි. පෙර නොවූ අයුරින් මම ඒ සුවඳ විඳ ගතිමි.
"දමී, මට උඹව බැඳලා තියාගන්න බෑ. . ."
"උඹ මොනවා කිවුවත් අන්තිමට උඹ හොයන්නෙ ඉන්දියන් ගෑණියෙක්ව"
"ඒ මං නෙමෙයි. . . ."
"අනිත් අතට උඹ තවමත් ගතකරන්න හදන්නෙ කොලු ජීවිතයක්. ."
"ඔල්ගා. , මේ හැමදෙයක්ම නිසාවෙන් උඹ මට වෛර කරනවද. .?"
"මට සමාවෙයන්. තව දුරටත් උඹව වෙහෙසට පත්කරන්න මට බෑ"
මගේ දෙකොපුල මත සීතල හාදුවක් පතිත වුණා. .(ඔව්, එයාගෙ හාදු සීතලයි)
"නෑ මං උඹට වෛර කරන්නෙ නෑ. . ."
"හැබැයි එක දෙයක්. , දමී මට සුමානයක් දෙකක් කල් දෙන්න. මට ආයෙමත් ගෙදර යන්න බෑ."
අප සිටි නිවසෙහි කොන්ත්‍රාත්තුව ලියැවී තිබුණේ මගෙ නමට. නමුත් එහි තනිවීමට මට කැමැත්තක් නොතිබුණි. දැන් මට අවශ්‍ය පලායන්න. . .
අනෙක් අතට ඔල්ගාට මවගේ උදවුවෙන් නිවාස කුලිය ගෙවීමට හැකි බව මං දැනන් සිටියෙමි. කොහොමටත් ඒ අවධියේදී ඇය මට වඩා උපයමින් සිටියාය.
"නෑ යන්නෙ උඹ නෙමෙයි මම. . ."
ඇය නිසොල්මන්ව මා දෙස බලා සිටියාය. . .
ඒ පිළිතුර ඇය බලාපොරොත්තුවෙන් සිටි බවක් මට හැඟුණි. . . . .
ඉදිරි සතිය ඉබිගමනින් ගත වී ගිය අතර සියල්ල සාමාන්‍ය අකාරයෙන් සිදුවිය.
දින කිහිපයක්ම අපි අපේ සුපුරුදු අවන්හල්. , මුල් දිනවල අප මුණගැසුණු වටපිටාවන් අතර සැරිසැරූවෙමු. . . මේ අතර අපි අපව යළිත් කියවා ගැනීමට උත්සහා ගතිමු.
ඔල්ගා සැබවින්ම පැහැදිලි ගතිගුණ ඇති තැනැත්තියක් වූවාය. ඇය අකමැති යම් දෙයක් වේද ඇය ඒ පිළිබඳව සෘජුව විරුද්ධත්වය ප්‍රකාශ කලාය. ඇයට හඬන්නට සිතුණු විට ඇය රිසි සේ හඬා වැටුණාය. ඇයට සිනාසෙන්නට වුවමනා වූ විට ඇය රිසි ලෙස සිනාසුණාය. ඊට හේතුව මම විමසුවහොත් ඇය නොපැකිල ඊට හේතුව කියා සිටියාය.
පටලැවුණු නූල් බෝලයක් සේ ජීවිතය පටලවාගෙන සිටියේ මාය.අතීතය හා වර්තමානය අතර මගේ මනස දෝලනය වෙමින් පැවතුණි. මං අයිති කිනම් සංස්කෘතියකටද යන්න මටම ගැටළුවක් වී තිබුණි. ලංකාවේ ගතවුණු අතීතය වරින් වර මා අවට හොල්මං කරයි. ඒ මතක සුවඳක් ගෙනෙන තියුණු වේදනාවකටත් මම පෙම් කරමින් සිටියෙමි. ඔල්ගා සමග එකට ජීවත්වීමට යාම වැනි තඩි රැඩිකල් පිස්සුවක් කෙලීමට මං පෙළඹුනේ මන්ද. . .?
පසුකාලීනව මගේ හිතාදර නෑසියන්ට අනුව එක්කෝ එය වනචරකමය. , එක්කෝ යුරෝපීය සංස්කෘතිය තුළ වල්මත්වීමය. අතැම් විටෙක මට සිතෙන සැටියට ලංකාවේ හිතමිතුරුකම්, ලෙන්ගතුකම් අතරමැද ජීවත් වී ඒ සියල්ල අහිමිවුණ මට මං ගැන වද වෙන අයෙක් වුවමනා වී තිබුණි. (රෑ දොලහේ කණිසම වැදුණ සැනින් දුරකතන ඇමතුම් දීම පසුකාලීනව මට ඇණයක් විය.) සිද්ධිය සාධාරණීකරනය කිරීමට බයිලා ගැසීමෙන් පලක් නැත. මං තඩි පිස්සුවක් කෙලා තිබුණි.
මා විසින් ඔල්ගාට කරනු ලැබ තිබූ අසාධාරණය අතිමහත්ය. . .
ජීවිතය සැලසුම් කරන අයෙකු වූ ඇය තව අවුරුදු දෙක තුනකටවත් මා සමග ජීවත් වීමට සිතාගෙන සිටි බව මම දැන සිටියෙමි. (විවාහ වීමක් ගැන අප සිතුවේවත් නැත.) ඇය මාර්ගයක් තෝරාගෙන සිටියාය. ඒ මාර්ගය මගේ මාර්ගය'යැයි සිතා මම අනෙකාගේ මාවතේ පිස්සු නටමින් සිටියෙමි. .කොටින්ම මම ඇයද අන්දවමින් මාද ඇඳගනිමින් සිටියෙමි. . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
අධිවේගී මර්ගයේ ගමන් ගන්නා රථපෙල කුඩා ගිනි පෙට්ටි පේලියක් මෙන් දිස්වෙයි. වාහන මෙතරම් සෙමින් ගමන් කරන්නේ ඊයේ ඇති වූ අධික හිම පතනය නිසා විය යුතුය. නැතිනම් මෙම මර්ගයේ ඉගිලෙන ගිනිපෙට්ටි විනා ගිනිපෙට්ටි පෝලිමක් දැකීම උගහටය. මම මේ සඳලු තලයේ අවසාන සෞන්දර්යයත් විඳගෙන සාලයට ඇතුල් වුණෙමි. . . .
පුටුසැටියේ ඇයට පුරුදු මුල්ලේ සුපුරුදු ලෙසට ගුලිගැසී ඇය උන්නාය. ඇගේ දෙනෙත් තඩිස්සි වී තිබූණි. අද උදෑසන අවදී වී නානකාමරය තුළට වැදී සිටි මොහොතේ ඇය ඇතිතරම් හඬන්නට ඇත. (ඇය බොහෝවිට ඇතිතරම් හඬන්නට තෝරාගත් ස්ථානයකි නානකාමරය. එවන් අවස්ථාවක ඇයට අවහිර කිරීමට මමද අකමැති වීමි.) ඔල්ගා හඬා වැටුණේ මා වෙනුවෙන්ද, මං නිසා සැනින් අස්ථිර වී ගිය ඇගේ ජීවිතය වෙනුවෙන්ද යන්න මං අදටත් නොදනිමි.
මං වකුටු වී සිටි ඇගේ දෙපා මගේ උකුල මත තබා ගනිමින් ඇය අසලින් හිඳගතිමි. මේ වන විට නැවත ඇය සමග යහන්ගත වන්නවත්. , පෙර පරිදි ඇසුරු කරන්නටවත් යළිත් නොඑන වගට මම මා හටම සපථ වී සිටියමි.
මට තවත් අයෙකුගේ ජීවිතයක් දැන දැනම අවුල් කිරීමට කිසිම යුක්තිසහගත අයිතියක් නැති බව මං වටහාගෙන සිටිමි. . . හමුවීම් සුහද හමුවීම් පමණක්ම වනු ඇත. . . . .
"ඉතිං ඔයා දැන් ඔය යන තැන සේරම හරිද. ?"
ඇය නිහඬබව බිඳ දැමුවාය.
"ඇයි මං කලිනුත් කිවුවෙ, මමයි තව මගෙ යාළුවෙකුයි ඉන්නෙ.
ඔයා දන්නවා යාළුවාව. ."
"කවුද. . .?"
"රොශ්. බුද්ධා බාර් එකේ වැඩ කරන්නෙ. . ."
"ආ. . . නියමයි. ."
(රොශ් නොහොත් රොශාන් මගේ ශ්‍රී ලාංකික මිතුරන් අතරින් ඇය වඩාත්ම ගරු කල තැනැත්තා විය.)
"දමී. . ., ගිහින් හොඳින් ඉන්න. . .
ටිකක් වගකීමකින් වැඩ කරන්න බලන්න. පහුගිය සතිය පුරාම මං මේක ඔයාට කිවුවා. මං කියන්න යන දේ උඹ දන්නවා. "
ඇගේ නිල්පැහැ නෙතු මත නලියන කඳුලු බිඳුවක් තිබුණි.
නිල් පාට ඇස් (හරියටම කියනවනම් ලා නිල් පාට) කියන්නෙ මහ පුදුම දෙයක්. ඒවා හරිම ලස්සනයි. . . ඒත් අර කවියන් පට්ට ගැසූ විදිහට "නීල නුවන් යුග" කියලා කියද්දි එන හැඟීම එතන නෑ. නිල් පාට ඇස්වල හැඟීමක් නෑ. කළුපාට ඇස් දෙකක තියෙන කවිය එතන නෑ. හරියට ෆ්ලෑශ් ලයිට් වගේ ඒවා අපි දිහාට දැල්විලා තියෙනවා විතරයි, නිල් පාට ඇස් කියවන්න බෑ. ඒත් ලස්සනයි. මං ඔල්ගාගෙ ඇස් වලට ආස කලා.
"වෙලාවක් තිබුණොත් මාව බලලා යන්න එන්න. මං කොහොමටත් ටික කාලයක් තනියෙන් ඉන්නවා. . . ."
"ගෙවල් කුලී වලට ප්‍රශ්ණයක් ආවොත් මට කියන්න. . . මං උදවුවක් දෙන්නම්. . ."
"නෑ දමී, අම්මා ගාණක් දෙන්නම් කිවුවා. . . . පස්සෙ මගෙ නැන්දා කෙනෙක්ගෙ දුවෙක් එනවා මොල්දාවියා ඉඳන්. . ."
"උඹලගෙ අම්මා මුලු මොල්දාවියායම ගෙන්නනවා නේද ඉතාලියට"
මම සිනාසෙමින් ඇසුවෙමි. ඇගේ මව බොහෝ නෑදෑ හිතමිත්‍රාදීන්ට ඉතාලියට ඒමට උපකාර කල අයෙකි. ඔල්ගා සිනාසෙයි. . .ඇයට ඇත්තේ සුන්දර සිනාවකි. සිනාසෙන අතරතුර වරින් වර ඇය යටිතොල සපාගනියි.
"දමී, මං ඔයාට දෙයක් කියන්නද? උඹ දකුණු ආසියාවයි, යුරෝපයයි අතරින් එකක් තෝරගනින්. . .නැත්නම්
උඹ උඹේ ජීවිතයට ලොකු අපරාදයක් කරගන්නෙ. . ."
"මට වෙලාවකට හිතෙනවා ඔල්ගා ලංකාවට යන්න. ගිහින් කොතනින් හරි ජීවිතය පටන් ගන්න. . ."
ගොඩනැගිල්ලට ඇතුල් වන දොරටුව විවර කිරීම සඳහා ඇති දුරකතනය නාද වන්නට විය. මගේ බඩුබාහිරාදිය ගෙන යෑම පිණිස මම කාර් රථයක් ඇති මගේ ශ්‍රී ලාංකික මිතුරෙකුට පැමිණීමට පවසා තිබුණි. මම දොරටුව විවර කර බැල්කනියට ගොස් බැලුවෙමි. මහල් නිවාස සංකීර්ණයට ඇතුළු වන දොරටුව
එතනට දිස් වෙයි.
"අප්පට සිරි . . . .!" මුන් හතර දෙනෙක්ම ඇවිත්ය. යාළුවන්ගේ හැටි එහෙමය. මගේ යාලූවන් යනු පිස්සන් කොට්ඨාශයකි. හතර දෙනෙකු පැමිණි විට බඩු දමන්නේ ඔළු ගෙඩියේදැයි මුන්ට වටහා ගැනීමට නොහැක. එක අතකට අවුලක් නැත දෙදෙනෙකු මගේ ස්කූටරයේ පිටත් කල හැක. වැඩ දෙකක්ම එයින් සිදුවෙයි. කෙසේ නමුත් මෙවැනි දේශදීපංකරයකත් සැබෑ මිතුරන් ලැබීමට මං පින් කර ඇත.
මං ලක ලෑස්ති කරන ලද මගේ බඩු බාහිරාදිය මිතුරන්ගේ උදව්වෙන් වාහනයට පැටවීමි. අප විසින් එක්ව මිලදී ගන්නා ලද සියලු දෑ ඔල්ගා විසින් බෙදා වෙන්කර තබා තිබුණි. විමතියට පත්වීමට කරුණක් නැත. එය යුරෝපීය සහවාස ක්‍රමයේ නිල නොවන රෙගුලාසියකි. එක් අතකට එය වෙන්වූ පසු කිසිවෙකුට තම තමගේ ද්‍රව්‍යමය වස්තූන් ගැන පසුතැවීමට ඉඩක් නොතබන ක්‍රමයකි. තවත් අතකට එක ප්ලේන්ටිය තුන් හතර දෙනා බෙදාගෙන ගැසූ මගේ ශ්‍රී ලාංකික අධ්‍යාත්මයට මේ භෞතිකය විහිලුවකි.
සියල්ල වාහනයට පැටවූ පසු මම ඔල්ගාගෙන් සමුගැනීම පිණිස යළිත් විදුලි සෝපානයට ගොඩ වුණෙමි. මේ නිවාස සංකීර්ණයේ අන් බොහෝ තැන්වල මෙන්ම මේ විදුලි සෝපානයේද අපේ මතකය රැඳී පවතියි. ගතවූ සය මසක් වැනි කෙටි කාලය තුළ සිදු වූ සියලු දෑ පින්තූර පොතක් සේ මගේ මනසේ පිටු පෙරළෙයි. මං දෙනෙත් වසාගෙන ඒ තුළ දැනෙන්නා වූ සියලු හැඟීම් ආස්වාදනය කලෙමි.
මා නිවසට ඇතුළු වන විට ඔල්ගා මා විසින් බඩු ලක ලෑස්ති කරගැනීමේදි අනිත් පැත්ත පෙරලූ නිවස අස්පස් කරමින් සිටියාය.
"ඔල්ගා. , .මං යනවා. . . යතුරු සේරම මෙතන තියෙනවා. . . ."
නිවසේ යතුරු කැරැල්ල යතුරු රඳවනය මත එල්ලමින් මම පැවසීමි.
නිල් පාට ඇස් මගෙන් වසන් කරගැනීමට ඇය වෙහෙසුණාය. . .
"ඔයා දැන් නෙමෙයි යන්නෙ. . . ඔයා ගියේ මීට ගොඩක් කලින්. . මීට මාස ගාණකට ඉස්සර. මං මේ අවසානය දැනන් හිටියා දමී"
"මට සමාවෙන්න. , තව දුරටත් මං ඔයත් එක්ක ඉන්න එක මං ඔයාට කරන අසාධාරණයක්. . ."
"යන්න ගිහින් හොඳින් ඉන්න. , ආයෙ කවදාවත් තමන්ගෙ ජීවිතය එක තැනක තියාගන්න පුලුවන් වෙනකම් කාත් එක්කවත් එකට ජීවත් වෙන්න යන්න එපා. . . මං කියන්න හදන දේ ඔයා දන්නවා. . . . ."
අපි ජීවිතයේ අවසන් වරට සිපවැලඳ ගතිමු. . . . . . කොපමණ වේලාවක්ද යන්න මට මතක නැත. සීතල හාදු වැස්සක මම ගිලී සිටියෙමි. . . . .
"මං යනවා. .හොඳින් ඉන්න. . ."
"ඔයත් හොඳින් ඉන්න. . . ."
"ciao. . . . . . ."
". . . . . . . . . .ciao"
මම නපුරු සොඳුරු සිහිනයකින් අවදි වුණෙමි. . .
මෙය කඳුළු කතාවකට වඩා අවබෝධයේ කතාවක් ලෙස මට හැඟෙයි. ජීවිතය ගැන කියන්නට. , හිතන්නට තවත් කථාවක් ඉතිර කර තබා කතාව අහවර වී තිබුණි.
අදටත් මම මගේ දකුණු ආසියාතික අධ්‍යාත්මය හා යුරෝපීය භෞතිකය ගලපා ගන්නට නොහැකිව සිටිමි. ජීවිතය වරාමලක් සේ පාවෙයි. . . . . එය කෙදිනක හෝ කොතැනක හෝ මුල් අදිනු ඇත. . . .
මේ කතාව ඔබට මොන තරම් අදාල වේදැයි මම නොදන්නෙමි. ලියන්නන් වාලෙ ලියා තැබුයෙමි. . . . . මන්ද හෙට මේ දැනෙන හැගීම් හිම මිදෙන සීතලට ගල් විය හැකි බැවිණි. . . . , හෙට ඉල්ලුමට සැපයුමට කැරකෙන ලෝකයක මම මා නොවන වෙන එකෙකු විය හැකි බැවිණි. . . . . .