Showing posts with label මගේ දින පොතින්.. Show all posts
Showing posts with label මගේ දින පොතින්.. Show all posts

Sunday, 11 September 2011

සිරගත මිතුර. . .පසුවදනක්.

මගේ සිරගත මිතුරා ගැන පසුවදනක් ලියන්න හිතුණා. . . . .
                                               
         මට මධූ මුණගැහෙන්නෙ 2002 වසරෙදි. මගේ මතකයේ හැටියට මාතර බස් ස්ටෑන්ඩ් එක ලඟ නෙස්කැෆේ කඩේදි. . . එතන ඉඳන් අපි දුර ගමනක් ගියා. . . . 
මධූ., ඌ සංවේදී හිතක් තිබුණ, ජීවිතය දිහා අලුත් විදිහට බලන්න උත්සහා කරපු, ලංකාවෙ සමාජ ක්‍රමය තුළ තියෙන කුහක මනස්ගාතයන් එක්ක නිරන්තරයෙන් ගැටුණ තවත් එක විප්ලවකාරී පුද්ගල ආත්මයක්...,
 තමන්ට සමාජ ක්‍රමය විසින් දෙනු ලබන හැඳුනුම්පත විසිකරලා, තමන්ගෙ හැඳුනුම්පත හොයාගන්න දඟලපු එකෙක්. 
මගෙත්, මධූත් අතර මතවාදී වශයෙන් නිරන්තරයෙන් ගැටෙන අදහස් වගේම බොහොම ළඟින් ගමන් කරන අවබෝධයක් තිබුණා. මාතර බස් ස්ටෑන්ඩ් එකේ ගිනි ගහන දූවිලි හුළඟටත්. , රුහුණුපුරේ මුහුදු වෙරළේ ඉර බහින හැන්දෑවකටත් අපි එක වගේ ආදරය කලා. අතිශයින් ප්‍රතිවිරුද්ධ සෞන්දර්යයන් සෞන්දර්යාත්මකව අත් විඳින්න ප්‍රගුණ කරමින් සිටියා අපි. . . .
මේ ශිෂ්ටාචාරයේ. ., සම්ප්‍රදායේ පටු නිර්වචන එක්ක එක වගේ හැප්පුනත් ජීවිතය ජීවත් කල යුතු ආකාරය ගැන අදහස් පළ කරද්දී අපේ මතවාද නිතර ගැටුණා. බැඳීම් වලින් මිදෙන්න ඕනි කියන මගේ හිප්පි ෆැන්ටසි එක මධූ නිතරම විවේචනය කලා. මට හිතෙන්නෙ මධූට ලස්සන සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගත කරන හීනයක් තිබුණා.  (ඒ වකවානුවෙදි මිනිහට පෙම්වතියක්වත් හිටියෙ නෑ).  ජීවිතය ගැන කියන සමහර සාම්ප්‍රදායික මතවාද වලට මධූ ඇලිලා හිටියා. ඒ මධූගෙ පවුල තුල තිබුණ සමහර ප්‍රශ්ණ නිසාවෙන්ද කියන එක මට අදටත් පැහැදිලි නෑ.
මගේ "පාවෙන වරා මල් න්‍යාය" ගැන. , රස්තියාදු වෙන "හිප්පි හීනය" ගැන මධූ මාත් එක්ක දිගින් දිගටම තර්ක කරමින් සිටියා. ඒ අමාගෙ (මගේ පරමාදර්ශී ආදරය) ඇතුල් වීමත් එක්ක මගේ ජීවිතේ හිප්පි ෆැන්ටසිය දෙදරුම් යමින් තිබුණ කාලය.
මගේත් අමල්කාගෙත් ආදරයට නිරන්තරයෙන් ආශිර්වාද කරපු. , ඒ අතර ඇතිවුණු ප්‍රශ්ණ 
වලදි මට අවවාද කරපු මධූ . . ., මගෙත් අමාගෙත් ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා විශ්වාස කළා.
               ඒත් අද ඒ සුන්දර අතීතය බොඳවෙමින් පවතිනවා. . . . . . .
අමාත්. . ,මධූත්. . . .සහෘද පිරිවරත් මට දුර ඈතයි. ඒ හැමෝගෙන්ම වෙන්වෙලා 2005 වසරේ මං ලංකාවෙන් පිටවීමත් එක්ක අපේ ජීවිත තීරණාත්මක විදිහට වෙනස් වුණා. . . මධූ පස් අවුරුදු සිර දඬුවමක් ලැබිලා සිරගත වීම මගේ ජීවිතය තුළ මට අහන්න ලැබුණ කාලකණ්ණිම ආරංචි වලින් එකක්. ඌ එතරම් දීර්ඝ කාලයකට සිරගත කළ යුතු මිනිහෙක් නොවන බව මං දන්නවා.
            දැන දැන  බරපතල වැරදි කරපු, කරමින් ඉන්න. . .සමාජයේ ප්‍රසිද්ධව පෙනී ඉන්න මිනිස්සු දහස් ගණනක් නිදහසේ ජීවත් වෙන. , දේශයේ අනාගතය තීන්දු වෙන මහා පරිමාණ වැරදි සංවිධානාත්මකව සිද්ධ වෙමින් පවතින යුගයකදි ජීවිතේ පළවෙනි වතාවට බරපතලක් නොදැන වරදකට අත පොවන තාරුණ්‍යය හිරකරලා කැකිල්ලේ සිස්ටම් එකේ නඩු තීන්දුවක් දීලා තාරුණ්‍යය මරා දමන එක
මොනතරම් කාලකණ්ණිද. ? ඛේදජනකද. . ?
"අපරාධය හා දඬුවම ගැන් පමණක්ම උනන්දුවෙන. , එතනින් එහාට අපරාධයට හේතුව හා ඊට පිලියම ගැන හොයන්නට උත්සහා නොකරන. . . . . , පටු සීමිත ලෝක වල හිරවුණු., චින්තන දරිද්‍රතාවයෙන් පෙලෙන සමාජ ක්‍රමයක් ඇතුළෙ අවුරුදු පහක් ගෙවෙනකම් බලා ඉන්නවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ.

මාතර බස් ස්ටෑන්ඩ් එක පහුකරන් යද්දී හෙට දවසකට මගෙ හිතට මහා හිස් බවක් දැනේවි.  නෙස්කැෆේ කඩේ ඇතුලෙ ඉඳන් අත වනන උඹේ නිර්ව්‍යාජ හිනාවත්. . , අකුරැස්ස හෝල්ට් එකේ ඉඳන් බලන් ඉන්න අමාගෙ තරු ඇසුත් නැති හිස්බව මට හොඳටම දැනේවි.
       අපි වෙනස් කරන්න දඟලපු ලෝකයම අපිව වෙනස් කරලා. . . . . .
ඒත් මේ මොහොතෙදිත් අදට වඩා යහපත් හෙට දවසක් ගැන තියෙන බලාපොරොත්තුව මධූගෙ හිතින් මැකිලා ගිහින් ඇති කියලා මං හිතන්නෙ නෑ. අපේ වරිගයේ කාටවත් සමාජය අපේක්ෂා කරන සිවිල් පොරවල් වෙන්න බැරිවෙයි කවදාවත්ම. දීර්ඝ කාලීන පාඨමාලා වලින් පස්සෙ මං ඒක තේරුම් ගත්තා. උඩුගම් බලා පීනන්න උත්සහා කරමින් ඉද්දි චාටර් වුණ මධූ ගැන මං ආඩම්බර වෙනවා. . . බොහොම සාර්ථක ලෙස ගඟ දියේ ගහගෙන යන පරඬැල් වගේ පුද්ගල ආත්ම තියෙන භෞතිකව සාර්ථක වුණ යාළුවො කවුරුවත් දිහා බලලා ඒ වගේ ආඩම්බර වෙන්න බැරි වෙයි මට.
අර්ථ ශුන්‍ය සංකර ජීවිතය අත හැරලා තීරණාත්මක ජීවිත ගමනක් යන්න පටන් ගන්න කාලය හරි කියලා හිතෙනවා මට. ඉදිරි කාලයේදි. . ., නුදුරේම මට මධූත්. ., තවත් පැරණි ගමන් සගයිනුත් මුණ ගැසේවි. එතනින් එහාට අපි කවුරු එකම මාවතක සමීපයෙන් ගමන් කරයිද කියන එක මං දන්නෙ නෑ.  ඒත් මං ඒ මග හැරුණු අතීතය හොයන් එනවා.
             මගේ අතීත ජීවිතයත් එක්ක ගණුදෙනුවක් තියෙනවා මට.  මට ඒ අතීතයෙන් ඉතිරිවුණ ශේෂය දැක බලාගන්න ඕනි අතීතය ගැන හොල්මන් කරන හැම මතකයකම මධූගෙ සේයාවක් තියෙනවා. . .
            අපි හැමෝගෙම ජීවිත ගැන සුබ ප්‍රාර්ථනයක් කරලා මං අනාගතයෙ එළිපත්තට වෙලා බලන් ඉන්නවා. මට අපේ උන් සේරම හොඳින් ඉන්නවා දකින්න ඕනි. . . .!!!
            ඉතිං එතෙක්. . . .
                    මතු සම්බන්ධයි. .
(". . එහෙනම් මචං, මතු සම්බන්ධයි..."  ඒක මධූ අපේ සෙට් එකට අරන් ආපු neo social  word එකක්. . .)

Wednesday, 31 August 2011

සිරගත මිතුර...


මං අද ඉදිරිපත් කරන්නෙත් මගේ දින පොතින් පිටුවක්. . . .මේක ලියවෙන්නෙ මීට අවුරුදු කිහිපයකට පෙර., මගේ ළඟම බොක්කක් වුනු යාළුවෙක් ජීවිතේ සිදු කරගත් පොඩි වරදක් වෙනුවෙන් බන්ධනාගාර ගත වෙනවා. නිකම් නෙමෙයි අච්චුව අවුරුදු පහක්.. අර දේශීය අයුද ගැන තියෙන වගන්තිය යටතෙ. . . . අපේ ලංකාවෙ පොලීසිය හරිම මැදහත් විදිහට වැඩ කරනවනෙ. . . ඒ නිසා අපේ යාළුවගෙ නඩුව සෑහෙන්න තද වුනා..
මං යාළුවව සුද්ද කරන්න යන්නෙ නෑ. ඒ වුනාට මං මිනිහව අඳුරනවා. . . . ඌ එහෙම සිරගත විය යුතු එකෙක් නෙමෙයි.. අවුරුදු 21කේ ඉඳන් අවුරුදු 5ක් ඉස්සරහට ගණන් හද්ලා බලන්න. . . කොල්ලෙක්ගෙ ජීවිතේ වටිනම කාලයක් නේද..?
 මේ තියෙන්නෙ ඒ ගැන මුකුත් කරකියා ගන්න බැරිවුණ මගේ සටහන. . . . .

------------------- ---------------------------------- ----------------------------
 "මධූ. . ,
    එක් යුගයක උඹ මගේ ළබැඳිම මිතුරා විය. . .
ජීවිතය සෞන්දර්යාත්මකව විඳගත්ත., ජීවිතයට අළුත් අර්ථකතන හොයන්න පැය ගණන් මං එක්ක වාද වුණු උඹ නැති හිස් බව රික්තයක්ම විතරයි. ඒ හිස් තැන පුරවන්න ආදේශක නෑ.
අවුරුදු පහක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. . .ඒත් ඒ අඳුරු හීනය එළිවෙන දවසටත් මං අපේ යාළුකම හොයන් එනවා. මං එහෙම හිතන් ඉන්නවා. . . ඒත් ප්ලෑන් ගහන්න බැරි මේ ජීවිතය ගැන අනාවැකි කියන්න මට බෑ.
ජීවිතේ මට උඹව ඕනිම වෙලාවෙ මට උඹව අහිමි වුණා. . . .අපි වෛර කරපු සිස්ටම් එකම උඹව සිරගත කලා.
     කුටුම්භ ජීවිත වලට හිරවුණු අපේ ගමන් සගයින් අතරමැද තව කවුරු හරි ඉඳියි උඹව හොයන් එන. . .
මේ දිග කාලය උඹට ඉක්මණින් ගෙවිලා යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
උඹ මගේ හිතේ ඉන්නෙ හරියට සිත්තමක් වගේ. . ඒ සිත්තම අකුරු කරන්න මට බෑ. එච්චරයි. .!"
--------------------------------- ----------------------- -----------------------------
ලබන අවුරුද්දේ මධූ එළියට එනවා.. මමත් ලංකාවට යන්න හිතන් ඉන්න නිසා මට මුණ ගැසේවි අනිවාර්යෙන්ම. ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්. . .! අපි නොසිතූ ඉසව් වල ජීවිතය අපිව ඇවිද්දනවා.
පරණ යාළුකම් ගැන අතීත කථාවස්තු ගොඩක් තියෙනවා මගෙ පුස් ඔළුගෙඩියෙ. . . තව ලියමනකින් මුණගැසෙමු. හෙට ඉඳන් මගේ නිවාඩු කාලය අවසන් වෙනවා. මොනතරම් busy වුණත් ලියන එකනම් අතහරින්නෙ නැනැ අම්මපා..
මධුවා මට ලියලා එවපු කවියකින් මං මේ හෑල්ල නතර කරන්නම්. . . .
     
". . . .හිතට වධ දෙන ප්‍රශ්ණ ඔක්කොම
        මලක ඔතලා පත්තු කරමුද. . . . . ?
        අයාලේ යන හිතත් අරගෙන
         තැනක් හොයමුද.? ඔහේ ලගින්න. . . ."
අනේ  මිලානෝ අහස යටට ඇවිත් ගියොත් කොමෙන්ටුවක් දාලා යන්න.. ඒක මට ලොකු හයියක්. . .!

Sunday, 28 August 2011

ආරම්භය ලෙස මගේ දිනපොතෙන් පිටුවක්.......

මේක මගේ අතින් ලියවෙන්නෙ හරියටම මීට අවුරුදු හයකට කලින්.... මේ සටහන මගේ දිනපොතේ ලියවෙන්නෙ මං ඉතාලියට ඇවිත්  පළවෙනි සති කිහිපය ගත වෙද්දි.. 

"හුදෙකලා හෙට දවස ගෙවී ගොස් අලුත් හෙට දවසක් උදාවනු ඇත.
 පාළු.,තනිකම් ගැන නොසිතා අද දවස කෙසේ හෝ ගෙවා දැමිය යුතුයැයි මට සිතේ.. නමුත් අප ඉපදුණේ කෙසේ හෝ දවස් ගෙවා දැමීමට නොවන වග මම දනිමි. ජීවිතේ කෙදිනකවත් නොවූ අයුරින් මම දවස් ගෙවා දැමීමට වෙහෙසෙමි.....
හුදෙකලා වන සිත අතීතයේ මතකයක් සොයා ඉගිලෙයි....
පාසල් සමයේ දුටු පාට සමනල හීන තටු කැඩී බිම වැටී ඇත... සත් සමුදුරු පසු කර පෙරදා රස්තියාදු ගැසූ ඉසව්වකට පියඹන්නට සිතෙයි. නමුදු එය යථාර්තයක් විය නොහැක.
ඉල්ලුමට-සැපයුමට කැරකෙන ලෝකයක ජීවිතයට මුහුණ දිය යුතුව ඇත... හුදෙකලා අද දවස ගෙවා දමා හෙට පායන හිරු අභියස හිනැහීමට හැකිවනු ඇත...
එතෙක් මේ නාඳුනන පුරවරය මගේ එකම එක කෙම්බිමය...........!"
 -06-08-2005- මගේ දින පොත.