Wednesday 31 August 2011

සිරගත මිතුර...


මං අද ඉදිරිපත් කරන්නෙත් මගේ දින පොතින් පිටුවක්. . . .මේක ලියවෙන්නෙ මීට අවුරුදු කිහිපයකට පෙර., මගේ ළඟම බොක්කක් වුනු යාළුවෙක් ජීවිතේ සිදු කරගත් පොඩි වරදක් වෙනුවෙන් බන්ධනාගාර ගත වෙනවා. නිකම් නෙමෙයි අච්චුව අවුරුදු පහක්.. අර දේශීය අයුද ගැන තියෙන වගන්තිය යටතෙ. . . . අපේ ලංකාවෙ පොලීසිය හරිම මැදහත් විදිහට වැඩ කරනවනෙ. . . ඒ නිසා අපේ යාළුවගෙ නඩුව සෑහෙන්න තද වුනා..
මං යාළුවව සුද්ද කරන්න යන්නෙ නෑ. ඒ වුනාට මං මිනිහව අඳුරනවා. . . . ඌ එහෙම සිරගත විය යුතු එකෙක් නෙමෙයි.. අවුරුදු 21කේ ඉඳන් අවුරුදු 5ක් ඉස්සරහට ගණන් හද්ලා බලන්න. . . කොල්ලෙක්ගෙ ජීවිතේ වටිනම කාලයක් නේද..?
 මේ තියෙන්නෙ ඒ ගැන මුකුත් කරකියා ගන්න බැරිවුණ මගේ සටහන. . . . .

------------------- ---------------------------------- ----------------------------
 "මධූ. . ,
    එක් යුගයක උඹ මගේ ළබැඳිම මිතුරා විය. . .
ජීවිතය සෞන්දර්යාත්මකව විඳගත්ත., ජීවිතයට අළුත් අර්ථකතන හොයන්න පැය ගණන් මං එක්ක වාද වුණු උඹ නැති හිස් බව රික්තයක්ම විතරයි. ඒ හිස් තැන පුරවන්න ආදේශක නෑ.
අවුරුදු පහක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. . .ඒත් ඒ අඳුරු හීනය එළිවෙන දවසටත් මං අපේ යාළුකම හොයන් එනවා. මං එහෙම හිතන් ඉන්නවා. . . ඒත් ප්ලෑන් ගහන්න බැරි මේ ජීවිතය ගැන අනාවැකි කියන්න මට බෑ.
ජීවිතේ මට උඹව ඕනිම වෙලාවෙ මට උඹව අහිමි වුණා. . . .අපි වෛර කරපු සිස්ටම් එකම උඹව සිරගත කලා.
     කුටුම්භ ජීවිත වලට හිරවුණු අපේ ගමන් සගයින් අතරමැද තව කවුරු හරි ඉඳියි උඹව හොයන් එන. . .
මේ දිග කාලය උඹට ඉක්මණින් ගෙවිලා යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
උඹ මගේ හිතේ ඉන්නෙ හරියට සිත්තමක් වගේ. . ඒ සිත්තම අකුරු කරන්න මට බෑ. එච්චරයි. .!"
--------------------------------- ----------------------- -----------------------------
ලබන අවුරුද්දේ මධූ එළියට එනවා.. මමත් ලංකාවට යන්න හිතන් ඉන්න නිසා මට මුණ ගැසේවි අනිවාර්යෙන්ම. ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්. . .! අපි නොසිතූ ඉසව් වල ජීවිතය අපිව ඇවිද්දනවා.
පරණ යාළුකම් ගැන අතීත කථාවස්තු ගොඩක් තියෙනවා මගෙ පුස් ඔළුගෙඩියෙ. . . තව ලියමනකින් මුණගැසෙමු. හෙට ඉඳන් මගේ නිවාඩු කාලය අවසන් වෙනවා. මොනතරම් busy වුණත් ලියන එකනම් අතහරින්නෙ නැනැ අම්මපා..
මධුවා මට ලියලා එවපු කවියකින් මං මේ හෑල්ල නතර කරන්නම්. . . .
     
". . . .හිතට වධ දෙන ප්‍රශ්ණ ඔක්කොම
        මලක ඔතලා පත්තු කරමුද. . . . . ?
        අයාලේ යන හිතත් අරගෙන
         තැනක් හොයමුද.? ඔහේ ලගින්න. . . ."
අනේ  මිලානෝ අහස යටට ඇවිත් ගියොත් කොමෙන්ටුවක් දාලා යන්න.. ඒක මට ලොකු හයියක්. . .!

Tuesday 30 August 2011

මගේ කුරුසිය......


"හුදී ජන සිත් තොසිනි මනහර
පවර මෙනුවර සොඳුරු සිරිසර.."

මේ විසල් නගරයේ
සුන්දරත්වයේ නපුරු මායාව අතර මැද
සිරනොවී පලායමි. . . . .
කාත් කවුරුත් නොඑන
හුදෙකලා වීදියක තනි වී
මම සියදිවි නසාගමි. . . . . . .

ඒ නමුදු. ,
පලා යා නොහැක ජීවිතෙන්
ඒ තරම් පහසුවෙන්. . . .

යා යුතුයි තව දුර මම
මගේ පවුකාර කුරුසිය
කර තබාගෙන. . . .
කටු ඔටුනු පලන්දා
කුරුසියේ ඇණ ගසා
ඝාතනය විය යුතුය මම. . . . .

එසඳ. . ,
සියළු පවු කමා කරන ලද සේක. . . .

සබඳ. . ,
මතුයම් දිනෙක
අපේ යටගිය මතකයේ
නුඹේ නෙතගින් වැටුණු
සීතල කඳුලකින්,
මම යලිත් උපදිමි. . . .
මේ සායනික මරණයෙන්
පිබිද උත්ඨාන වෙමි. . . .

මේ ලොව වඩා යහපත් වන
හෙට දිනෙක. . ,
මා අවදි වූ පසුව දකින්නට
එකම එක හීනයක්
ඉතිරි කර තබා. . . .
නික්මෙන්න ඔබ
මඟුල් පාවඩ මතින්. . . . . .
     ඉතිං අවසරයි. . . .

Monday 29 August 2011

මිලානෝ හීතලට මගෙ සිහින ගල් විණ...



ප්‍රාර්ථනා කරන ලද ජීවිතයත්., ගත කරන ජීවිතයත් ගැන මහා කළකිරීමකින් යුතුව මං ආයෙත් ලියන්න ගන්නවා. වරින් වර නතරවුණ ලිවීම ආයෙත් පටන් ගන්න කාලය ඇවිල්ලා කියලා මට හිතෙනවා.
ග්‍රීෂ්ම කාලය නිසාවෙන් පාලුවට ගිය මිලානෝ නගරයත්..,මා වටා දැනෙන පාලුවත්., හුදෙකලාවට ගිය වීදියක ගුප්ත නිහඬ බවත් මාව ආයෙත් ලිවීමකට පොළඹවනවා......
      මං මාවම විච්ඦේදනය කරන්න උත්සහා ගන්නවා. ඒක අමාරු වැඩක්... මුළු ආත්මය පුරාම දැනෙන්නෙ මහා හිස් බවක්. වසාගත්තු හිත්වලින්., සින්තටික් හිනාවන්ගෙන් පිරුණු යාන්ත්‍රික සමාජය තුළ මට දැනෙන්නෙ මහා වෙහෙසක්., කළකිරීමක්...
මං ඉතාලියට සංක්‍රමණය වෙලා වසර හයක් ගතවෙන මේ මොහොතෙදිත් මං ලංකාවෙ සුවඳකටත් ආදරය කරනවා.. හැබැයි ඒක මහා දේශප්‍රේමී හැඟීමකට වඩා බොහොම නිදහස්.., සෞන්දර්යවාදී, පෞද්ගලික හැඟීමක්.  ජීවිතයේ ලස්සන, වැදගත් කාලපරිච්ඡේද ගතවුණු වටපිටාවන් වලට අපි ස්වභාවයෙන් ඇළුම් කරනවා. ඒක පුදුමාකාර ළෙන්ගතුකමක්....
කොහොමවුණත් හෙට දවසෙදි මං ලංකාවට පය ගහපු දවසකට ඉස්සර සොඳුරු හෝරාවන් ගතවුණු වටපිටාවන් පසුකරගෙන යද්දි මගෙ හිතට තියුණු වේදනාවක් දැනෙන බවනම් මං දන්නවා.
    උපේක්ෂාව...........
            මං උපේක්ෂාවෙන් ජිවිතය දිහා බලන්න උත්සහා කරනවා.. ඒත් යථාර්තය මං සාමාන්‍ය පෘථග්ජන සත්වයෙක්.. බොහොම හැල හැප්පීම් වලට ලක්වුන., තැළුන., පොඩිවුණ, දුක්වුණු., සතුටු වුණ ජීවිතයෙන් ලබාගත්තේ කුමක්ද..? (අනන්ත අත්දැකීම් සමුදාය හැර). ඒක ලොකු ප්‍රශ්නාර්ථයක්..??? ජීවිතයෙන් ලබාගත්තේ කුමක්ද? ලබා ගතයුත්තේ කුමක්ද? ඒවා මට කවදාවත් උත්තර නොලැබෙන., මට නිතර හමුවෙන ප්‍රශ්ණ.
      "ලබාගැනීම්., ලුහුබැඳ යෑම් වලින් තොරව බොහොම සැහැල්ලුවෙන් ගලාගෙන යා යුතු සෞන්දර්යාත්මක ගමනක් ජීවිතය.."ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බැරි නිසාවෙන් මං ජීවිතය එහෙම නිර්වචනය කරනවා.. ඒත් මේ මොහොතෙදිත් මගේ හිත යම් යම් දේවල් ලබා ගැනීමේ අශාවෙන් පෙළෙනවා., සමහරක් දේ පසුපස හිත ලුහුබැඳ යනවා..
මේක මහ වංචාවක්..! මට මං තුළ පුද්ගල චරිත දෙකක් ජීවත් වෙන බව දැනෙනවා.
pub එකක යාළුවොත් එක්ක දොඩමළු වෙමින් එක චරිතයක් ක්‍රියාශීලී වෙද්දි., අනෙක් චරිතය දෙනෝදාහක් සෙනඟ මැද හුදෙකලාවෙම කවියකට පද අහුලනවා. මා තුළ ජීවත්වෙන ඒ පුද්ගල ආත්ම දෙකම මේ ජීවිතය තුළ තෘප්තිමත් නෑ..
බොහොම උද්‍යෝගීව ගලාගෙන ගියපු ජීවිතය මේ තරම් dull වෙයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.
මං වටේට දැනෙන පාළුව, තනිකම මකාගන්න මං හිතට එන හැම මනෝවිකාරයක්ම ලියන්න උත්සහා ගන්නවා .
මට අන්ධකාරය මැදින් සහන් ආලෝකයක් පේනවා..! මං ඒ ආලෝකය දෙසට පියවර තබන්න උත්සහා ගන්නවා. ඒත්.., මේ මූසල පාළුවටත්, අන්ධකාරයටත් මං ආදරය කරනවා. මේ හැම දෙයක් විසින්ම මට කුමක් හෝ දෙයක් උගන්වමින් පවතිනවා..
මරදානෙ ජනාකීර්ණ වීදි., ලාබ සයිවර් කඩ.., ආනන්දය., මාතර සෙන්ට්‍රල් එක., බම්බලපිටියෙ අවන්හල්, මහජන පුස්ථකාලය, මාතර බස් නැවතුම්පොළ., නුගේගොඩ වලේ කඩේ., අමාගෙ තරු ඇස්... මේ හැම දෙයක්ම මගේ විශ්ව විද්‍යාලයන්.
වේදනාත්මක මතකයක දැවටිලා ඒ අතීතය අදටත් මට මුණගැහෙනවා..
ඇති වෙමින්., නැති වෙමින් පවතින ලෝකයක ජීවිතය ගැන ඇති කරගත යුතු බලාපොරොත්තුව කුමක්ද..?
වෙලාවකට හිතෙනවා මේ ශිෂ්ඨාචාරයෙන් පැනලා යන්න., මේ මහා රැවටීමට., මේ භෞතිකයට සමුදෙන්න. හිපියෙක් වෙලා ජීවිතේ පුරා රස්තියාදුවෙ යන්න හිතෙනවා මට...! ඒක මං පොඩි කාලෙ ඉඳන් දැකපු හීනයක්. මට ජීවිතය ගැන, ලෝකය ගැන කළකිරීමකට වඩා තියෙන්නෙ විවේචනයක්. මේ ඊනියා civilization එකත් එක්ක., මේ system එකත් එක්ක එකඟවෙන්න බෑ මට....
කොතනින් හරි ජීවිතය පටන් ගන්න ඕනි....!
             හෙට අළුත් දවසක්... මං ඒක විශ්වාස කරනවා.... .... ....
   so., I'm finding neverland........!

Sunday 28 August 2011

තිත්ත ඇත්ත..


අසම්මත සිතුවිලි
දරන්නේත් වෙමි..,
වස විස බොන්නේත් වෙමි..
එවන් වූ මට
සැළමුතු ලිහිණි පෙම කුමකටද..?
අකැපය මේ සියලු දෙය.....
                  අතොරක් නැතිව ඇද හැලෙන
                   හිම පියලි වරුසාව.....
                    කොළොම්තොට
                  ගිනිගහන දුහුවිලි සුලඟක
                   උණුහුමට තුරුලු වෙමි....
මගෙ දෙපා දෙස බලමි,
මුල් ඇදී තිබේදැයි විමසමි...
තවම නැත.
මම යහතින්ය...
හෙට දින මේ හැර අන් බිමකදී
උපදිනා සිතුවිලි
අවලංගු වේදැයි නොදන්නෙමි....
                       සීතල ඉරාගෙන එන
                       මතකයක උණුහුම
                       බිඳුණු හදවත මත
                        හාද්දක් තවරයි....
          ජීවිතේ වෙහෙසයි
 ඇත්ත මේ තරම් තිත්ත ඇයි...?

ආරම්භය ලෙස මගේ දිනපොතෙන් පිටුවක්.......

මේක මගේ අතින් ලියවෙන්නෙ හරියටම මීට අවුරුදු හයකට කලින්.... මේ සටහන මගේ දිනපොතේ ලියවෙන්නෙ මං ඉතාලියට ඇවිත්  පළවෙනි සති කිහිපය ගත වෙද්දි.. 

"හුදෙකලා හෙට දවස ගෙවී ගොස් අලුත් හෙට දවසක් උදාවනු ඇත.
 පාළු.,තනිකම් ගැන නොසිතා අද දවස කෙසේ හෝ ගෙවා දැමිය යුතුයැයි මට සිතේ.. නමුත් අප ඉපදුණේ කෙසේ හෝ දවස් ගෙවා දැමීමට නොවන වග මම දනිමි. ජීවිතේ කෙදිනකවත් නොවූ අයුරින් මම දවස් ගෙවා දැමීමට වෙහෙසෙමි.....
හුදෙකලා වන සිත අතීතයේ මතකයක් සොයා ඉගිලෙයි....
පාසල් සමයේ දුටු පාට සමනල හීන තටු කැඩී බිම වැටී ඇත... සත් සමුදුරු පසු කර පෙරදා රස්තියාදු ගැසූ ඉසව්වකට පියඹන්නට සිතෙයි. නමුදු එය යථාර්තයක් විය නොහැක.
ඉල්ලුමට-සැපයුමට කැරකෙන ලෝකයක ජීවිතයට මුහුණ දිය යුතුව ඇත... හුදෙකලා අද දවස ගෙවා දමා හෙට පායන හිරු අභියස හිනැහීමට හැකිවනු ඇත...
එතෙක් මේ නාඳුනන පුරවරය මගේ එකම එක කෙම්බිමය...........!"
 -06-08-2005- මගේ දින පොත.