Sunday 9 October 2011

ජීවිතේ චාටර්ද මෙතරම්. . . .


හුඟ දවසකින් මේ පැත්තෙ ඇවිත් යන්නත් බැරිවුණා. . . .
නිවාඩු කාලය අවසාන වීමත්, යාළුමිත්‍රාදීන්ගේ නැවත පැමිණීමත් එක්ක කාලවේලාව හොයාගන්න අමාරුයි රස්තියාදුකාරයෙක්ට. . . මේ අතර නේක හේතුසාධක එමටයි. යුරෝපයේ පාපන්දු වසන්තය ආරම්භ විම නිසා දිනපතා කොහේ හරි සෙට් වෙලා මැච් එකක් බලන එක එක් හේතුවක්. වසා තිබුණ අවන්හල්., හමු වීමේ ස්ථාන, සංදර්ශන නැවත ආරම්භ කර තිබීමෙන් සුපුරුදු ලෙස ඒ අතර රස්තියාදු වීම තවත් හේතුවක්.
හැබැයි යාළුවනේ. . , මේ බ්ලොග් කෙරුවාව අත හරින්න බැරි වැඩක් වගේ. . .
සත්තමයි, උඹලාගෙන් කවුරුහරි එකෙක් එක තත්පරේකට හරි මේක කියවනවා කියලා දැනෙද්දි මොනවාහරි කුරුටු ගාන්න ඕනි කියලා හිතෙනවා. . . . .
මේක දීර්ඝ ගිම්හානයක්. . . . එහෙම කියන්නෙ ඔක්තෝබරය උදා වෙලත් තවම උණුසුම් කාලගුණයක් පවතින නිසා. මේ ගිම්හානය වගේම එලඹෙන  සීත කාලයත් දීර්ඝ එමෙන්ම රළු සීත සෘතුවක් වෙයි කියලා ගොඩක් අය අනාවැකි පලකරනවා.
 ගිනියම් වුණ ගිම්හානයකට වගේම ගල් ගැසුණු සීත සෘතුවටත් මං එක වගේ ආදරය කරනවා. පරිසරය විසින් දෙන ඕනිම දෙයක්. . සුනාමියක් වුණත් අපි බාරගන්න ඕනිනේ. . . මොකද එපා කියන්නද. ?

       කොතැනක හරි තනිවෙන වෙලාවක අතීතය ගැන මතකයක් හිතට කඩන් වැටෙද්දි කියාගන්න බැරි මොකක්දෝ හැඟීමක් හිතට වදදෙනවා. පාළුව, කාන්සිය දුක, සතුට, ආදරය මේ හැම දෙයක්ම ඒ හැඟීම ඇතුළෙ මට දැනෙනවා . . . . .
අපේ මිනිස්සු කරන කියන දේවල් දිහා බැලුවම ඉතාලි ජීවිතය ගැන දැනෙන්නෙ පසුතැවිල්ලක්. . .
ගොඩක් උන් ලඟ තියෙන්නෙ යුරෝ මල්ලකුත් හිස්ම හිස් ජීවිතයකුත් විතරයි. උන් හිතන් ඉන්නේ ඒක මාර ලොකු වැඩක් කියලා. සල්ලි හොයන්නම නම් ඔච්චර දුවන්න ඕනිත් නෑ. සිංගරි එකෙක්ට හරි (zingari (gypsy) යනුවෙන් ඉතාලියේ හඳුන්වන්නේ අහිගුණ්ඨකයන්ය. මුන් හොර යක්කුය) drugs විකුණන එකෙක්ට හරි සෙට් වුණානම් ඉවරයි.
        ඔක්කොටම වඩා මල පනින්නේ මුන්ගේ ආර්ථිකය පදනම් කරගත්ත ගොබ්බ ආදර්ශ පාඨ ඇහෙද්දි. .
    "..මල්ලි, පඩියෙන් පුළුවන් තරම් කොටසක් ඉතුරු කරගන්න බලන්න...."
    " කෑෂ් අතේ තියන් ඉන්න එපා. වියදම් වෙනවා..."
    "මල්ලී ඉතාලි උන් එක්ක එළියට යන එක අඩු කරන්න.. ඒක සල්ලි වියදම් වෙන වැඩක් . . ."
    "සල්ලි ගත්ත ගමන් ලංකාවෙ එකවුන්ට් එකට යවන්න. . යුරෝ තමයි මල්ලි තියෙන්න ඕනි..."
අම්මාගෙ රෙද්ද...#@%&#ò. . . .
මුන් හිතන් ඉන්නේ උන් වගේ නැට්ට කඩා ගත්ත හරක් වගේ මාත් දුවන්න අදහස් කරන් ඉන්නවා කියලා.
යකෝ., ඔක්කොටම කලින් මට ජීවත් වෙන්න ඕනි. මගෙ හිතට දැනෙන විදිහට මට ජීවත්වෙන්න ඕනි.
 පිස්සු. . . . එක්කො මුන්ට එහෙමත් නැත්නම් මට.

 සංවේදීකමක්, මනුස්සකමක් හොයාගන්න තියෙන අමාරුව.
හිත දුවන්නෙ යළි නොඑන අතීතයට. . . . . .
පාරවල් ගානෙ රස්තියාදු ගහපු., හෝටල් ගානෙ චාටර් කාපු ඒ අතීතය මොනතරම් නම් වෙනස්ද. . ?
ජනාකීර්ණ වීදියක නිවෙන දැල්වෙන නියොන් එළි යටින් රාගික නෙත් දහසක් පසුකරන් ඇවිදගෙන ඇවිත්  නගරය මැදින් දිව යන ඇළ පාරක් අයිනෙ නතරවෙලා දියමත මැවෙන මගේම ප්‍රතිබිම්භය තුළින් ජීවිතේ අහිමි වුණ සතුටක් හොයද්දී ඉස්සර රස්තියාදු ගහපු හැම පාරක් තොටක් ගානෙම හිත ආයෙත් සක්මන් කරනවා.

. . . . . . ඒ ජීවිතේ නිරපේක්ෂ සතුටක් තිබුනා. . අපූරු සැහැල්ලුවක් තිබුණා. ඒකෙන් අදහස් කේරෙන්නෙ ප්‍රශ්ණ වලින් තොර ජීවිතයක් කියන එක නෙමෙයි. ප්‍රශ්ණ වලට මුහුණ දෙන ආකාරයේ වෙනසක්.
ඉල්ලුමට සැපයුමට කැරකෙන ලෝකයක් ඇතුළෙ ආර්ථික සාධක නොවැදගත් කියලා හිතනවනම් ඒක ගොන්කමක්. ඒත් ආර්ථිකය කිසිසේත්ම ජීවිතයට වඩා වැදගත් දෙයක් වෙන්න බැහැ. මිනිස්සු ආර්ථිකයයි, ජීවිතයයි පටලවගෙන. ., ඒ වරද සාධාරණීකරනය කරන්න ආර්ථිකය ගැන බණ කියනවා. කලකිරෙන්නෙ ගණුදෙනුවක් වුණ ජීවිතය ගැන.
රස්තියාදුවෙ ගියපු පාරක අඩි සටහනක්වත් නොතබාම අතීතය මැකිලා ගිහිල්ලා. . .
ඒ ජීවිතේ හැටි. . . .
අපි ජීවිතයට මොනතරම්නම් අර්ථකතන දුන්නද. .?
  ". . මලක් වෙලා, දුමක් වෙලා
         සැහැල්ලුවෙන් පා වුණාවෙ..."
මගේ සටහන් පොතක කැටපත් පවුරේ (ඒ කියන්නෙ අන්තිම පිටුවෙ) බ්‍රාහ්මීය අක්ෂර වලින් අපේ කවුරුහරි එකෙක් එහෙම කුරුටුගාලා තිබුණා.
දැන් කරමින් ඉන්නෙ ප්‍රාර්ථනා කරපු ජිවිතයට කරන ලොකුම වංචාව කියලා හිතෙද්දී හිතට දැනෙන්නෙ පසුතැවිල්ලක්.
තව නොබෝ දිනෙකින් තවත් සීත සෘතුවක් උදා වෙනවා. සෘතු මාරුවෙනවා. . කාලය වේගයෙන් ගතවෙලා යනවා. . . ජීවිතය හැමදාමත් හොයන වෙනස මං ආයෙ ආයෙත් ලුහුබඳිනවා. කාලයක් මට හිතුණා මේ හැම දෙයක්ම දමලා ගහලා ලංකාවට යන්න ඕනි කියලා. ඒත් මට දැන් ඒ ගැන සැකයක් තියෙනවා. . .
මගේ පාෂාණිභූත වුණ උරුමය ගැන මට සැකයක් තියෙනවා.
කොහොම වුණත් මගේ වැඩි අයිතිය තියෙන්නෙ ලංකාවට. . . හැමදාම උදේට වැඩට යන්න කලින් සපත්තු දමද්දි මං මගේ කකුල් දිහා බලනවා සැකයෙන්., මට බයයි මං මුල් අදියි කියලා. . . මේක එක්තරා ආකාරයක ෆෝබියාවක්. මං ජීවත්වුණ ලංකාව මට ආගන්තුක වෙනවට මං බයයි. . ඒත් ඒක එහෙම වන බව සත්‍යයක්.

මේක සිහින වලින් තොර කාල වකවානුවක්. . .
ඒක මොනතරම් කාලකණ්ණිද කියලා තමුන්නාන්සෙලාට  වැටහීමක් තියෙනවද කියලා මං දන්නෙ නෑ. . .
මොකද ලංකාවෙදි දෙයක් කියාගන්න, දුක ගල් බෝතලේකට දියකරන්න, දුම් වළාවක පා කරන්න කවුරු හරි එකෙක් ලඟ ඉන්න හන්දා. මෙහෙදි වෙන්නෙ අඹ යාළුවො හිටියත් උන් හිතන්නෙ වෙනත් තලයක හින්දා මගේ අඳෝනාව උන්ට තේරෙන්නෙ නෑ. සිංහල සාහිත්‍යය ප්‍රශ්ණෙකට උන් දෙන්නෙ mathematics උත්තර.  

අයෙත් දවසක වළාකුලූ වලින් හැඩිවුණ මීලානෝ අහස යටදි මුණගැසෙමු. මේක ඒ තරම් සාර්ථක අවසානයක් නෙමෙයි. අවසානයක්. .? අවසානයක් වෙන්නෙ කොහොමද..?
මේක පටන් ගැන්ම විතරයි. . . . .




Sunday 11 September 2011

සිරගත මිතුර. . .පසුවදනක්.

මගේ සිරගත මිතුරා ගැන පසුවදනක් ලියන්න හිතුණා. . . . .
                                               
         මට මධූ මුණගැහෙන්නෙ 2002 වසරෙදි. මගේ මතකයේ හැටියට මාතර බස් ස්ටෑන්ඩ් එක ලඟ නෙස්කැෆේ කඩේදි. . . එතන ඉඳන් අපි දුර ගමනක් ගියා. . . . 
මධූ., ඌ සංවේදී හිතක් තිබුණ, ජීවිතය දිහා අලුත් විදිහට බලන්න උත්සහා කරපු, ලංකාවෙ සමාජ ක්‍රමය තුළ තියෙන කුහක මනස්ගාතයන් එක්ක නිරන්තරයෙන් ගැටුණ තවත් එක විප්ලවකාරී පුද්ගල ආත්මයක්...,
 තමන්ට සමාජ ක්‍රමය විසින් දෙනු ලබන හැඳුනුම්පත විසිකරලා, තමන්ගෙ හැඳුනුම්පත හොයාගන්න දඟලපු එකෙක්. 
මගෙත්, මධූත් අතර මතවාදී වශයෙන් නිරන්තරයෙන් ගැටෙන අදහස් වගේම බොහොම ළඟින් ගමන් කරන අවබෝධයක් තිබුණා. මාතර බස් ස්ටෑන්ඩ් එකේ ගිනි ගහන දූවිලි හුළඟටත්. , රුහුණුපුරේ මුහුදු වෙරළේ ඉර බහින හැන්දෑවකටත් අපි එක වගේ ආදරය කලා. අතිශයින් ප්‍රතිවිරුද්ධ සෞන්දර්යයන් සෞන්දර්යාත්මකව අත් විඳින්න ප්‍රගුණ කරමින් සිටියා අපි. . . .
මේ ශිෂ්ටාචාරයේ. ., සම්ප්‍රදායේ පටු නිර්වචන එක්ක එක වගේ හැප්පුනත් ජීවිතය ජීවත් කල යුතු ආකාරය ගැන අදහස් පළ කරද්දී අපේ මතවාද නිතර ගැටුණා. බැඳීම් වලින් මිදෙන්න ඕනි කියන මගේ හිප්පි ෆැන්ටසි එක මධූ නිතරම විවේචනය කලා. මට හිතෙන්නෙ මධූට ලස්සන සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගත කරන හීනයක් තිබුණා.  (ඒ වකවානුවෙදි මිනිහට පෙම්වතියක්වත් හිටියෙ නෑ).  ජීවිතය ගැන කියන සමහර සාම්ප්‍රදායික මතවාද වලට මධූ ඇලිලා හිටියා. ඒ මධූගෙ පවුල තුල තිබුණ සමහර ප්‍රශ්ණ නිසාවෙන්ද කියන එක මට අදටත් පැහැදිලි නෑ.
මගේ "පාවෙන වරා මල් න්‍යාය" ගැන. , රස්තියාදු වෙන "හිප්පි හීනය" ගැන මධූ මාත් එක්ක දිගින් දිගටම තර්ක කරමින් සිටියා. ඒ අමාගෙ (මගේ පරමාදර්ශී ආදරය) ඇතුල් වීමත් එක්ක මගේ ජීවිතේ හිප්පි ෆැන්ටසිය දෙදරුම් යමින් තිබුණ කාලය.
මගේත් අමල්කාගෙත් ආදරයට නිරන්තරයෙන් ආශිර්වාද කරපු. , ඒ අතර ඇතිවුණු ප්‍රශ්ණ 
වලදි මට අවවාද කරපු මධූ . . ., මගෙත් අමාගෙත් ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා විශ්වාස කළා.
               ඒත් අද ඒ සුන්දර අතීතය බොඳවෙමින් පවතිනවා. . . . . . .
අමාත්. . ,මධූත්. . . .සහෘද පිරිවරත් මට දුර ඈතයි. ඒ හැමෝගෙන්ම වෙන්වෙලා 2005 වසරේ මං ලංකාවෙන් පිටවීමත් එක්ක අපේ ජීවිත තීරණාත්මක විදිහට වෙනස් වුණා. . . මධූ පස් අවුරුදු සිර දඬුවමක් ලැබිලා සිරගත වීම මගේ ජීවිතය තුළ මට අහන්න ලැබුණ කාලකණ්ණිම ආරංචි වලින් එකක්. ඌ එතරම් දීර්ඝ කාලයකට සිරගත කළ යුතු මිනිහෙක් නොවන බව මං දන්නවා.
            දැන දැන  බරපතල වැරදි කරපු, කරමින් ඉන්න. . .සමාජයේ ප්‍රසිද්ධව පෙනී ඉන්න මිනිස්සු දහස් ගණනක් නිදහසේ ජීවත් වෙන. , දේශයේ අනාගතය තීන්දු වෙන මහා පරිමාණ වැරදි සංවිධානාත්මකව සිද්ධ වෙමින් පවතින යුගයකදි ජීවිතේ පළවෙනි වතාවට බරපතලක් නොදැන වරදකට අත පොවන තාරුණ්‍යය හිරකරලා කැකිල්ලේ සිස්ටම් එකේ නඩු තීන්දුවක් දීලා තාරුණ්‍යය මරා දමන එක
මොනතරම් කාලකණ්ණිද. ? ඛේදජනකද. . ?
"අපරාධය හා දඬුවම ගැන් පමණක්ම උනන්දුවෙන. , එතනින් එහාට අපරාධයට හේතුව හා ඊට පිලියම ගැන හොයන්නට උත්සහා නොකරන. . . . . , පටු සීමිත ලෝක වල හිරවුණු., චින්තන දරිද්‍රතාවයෙන් පෙලෙන සමාජ ක්‍රමයක් ඇතුළෙ අවුරුදු පහක් ගෙවෙනකම් බලා ඉන්නවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ.

මාතර බස් ස්ටෑන්ඩ් එක පහුකරන් යද්දී හෙට දවසකට මගෙ හිතට මහා හිස් බවක් දැනේවි.  නෙස්කැෆේ කඩේ ඇතුලෙ ඉඳන් අත වනන උඹේ නිර්ව්‍යාජ හිනාවත්. . , අකුරැස්ස හෝල්ට් එකේ ඉඳන් බලන් ඉන්න අමාගෙ තරු ඇසුත් නැති හිස්බව මට හොඳටම දැනේවි.
       අපි වෙනස් කරන්න දඟලපු ලෝකයම අපිව වෙනස් කරලා. . . . . .
ඒත් මේ මොහොතෙදිත් අදට වඩා යහපත් හෙට දවසක් ගැන තියෙන බලාපොරොත්තුව මධූගෙ හිතින් මැකිලා ගිහින් ඇති කියලා මං හිතන්නෙ නෑ. අපේ වරිගයේ කාටවත් සමාජය අපේක්ෂා කරන සිවිල් පොරවල් වෙන්න බැරිවෙයි කවදාවත්ම. දීර්ඝ කාලීන පාඨමාලා වලින් පස්සෙ මං ඒක තේරුම් ගත්තා. උඩුගම් බලා පීනන්න උත්සහා කරමින් ඉද්දි චාටර් වුණ මධූ ගැන මං ආඩම්බර වෙනවා. . . බොහොම සාර්ථක ලෙස ගඟ දියේ ගහගෙන යන පරඬැල් වගේ පුද්ගල ආත්ම තියෙන භෞතිකව සාර්ථක වුණ යාළුවො කවුරුවත් දිහා බලලා ඒ වගේ ආඩම්බර වෙන්න බැරි වෙයි මට.
අර්ථ ශුන්‍ය සංකර ජීවිතය අත හැරලා තීරණාත්මක ජීවිත ගමනක් යන්න පටන් ගන්න කාලය හරි කියලා හිතෙනවා මට. ඉදිරි කාලයේදි. . ., නුදුරේම මට මධූත්. ., තවත් පැරණි ගමන් සගයිනුත් මුණ ගැසේවි. එතනින් එහාට අපි කවුරු එකම මාවතක සමීපයෙන් ගමන් කරයිද කියන එක මං දන්නෙ නෑ.  ඒත් මං ඒ මග හැරුණු අතීතය හොයන් එනවා.
             මගේ අතීත ජීවිතයත් එක්ක ගණුදෙනුවක් තියෙනවා මට.  මට ඒ අතීතයෙන් ඉතිරිවුණ ශේෂය දැක බලාගන්න ඕනි අතීතය ගැන හොල්මන් කරන හැම මතකයකම මධූගෙ සේයාවක් තියෙනවා. . .
            අපි හැමෝගෙම ජීවිත ගැන සුබ ප්‍රාර්ථනයක් කරලා මං අනාගතයෙ එළිපත්තට වෙලා බලන් ඉන්නවා. මට අපේ උන් සේරම හොඳින් ඉන්නවා දකින්න ඕනි. . . .!!!
            ඉතිං එතෙක්. . . .
                    මතු සම්බන්ධයි. .
(". . එහෙනම් මචං, මතු සම්බන්ධයි..."  ඒක මධූ අපේ සෙට් එකට අරන් ආපු neo social  word එකක්. . .)

Saturday 10 September 2011

LIVING TOGETHER නොහොත් මගේ සින්තටික් ප්‍රේමය.

මං පුරුදු විදිහට කෝපි කෝප්පයත් අරගෙන බැල්කනියට ගියා. . . හැමදාම උදෑසන කෝපි කෝප්පයත් අරගෙන බැල්කනියට යන එක පුරුද්දක් වෙලා තිබුණා. නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ අපේ නිවස පිහිටා තිබීම නිසා හැමදාම උදේට මට දකින්න සුන්දර දසුනක් එතන තිබුණා. . එක් පසෙකින් අධිවේගී මාර්ගය දිස්වන අතර අනෙක් පසින් නාගරික උද්‍යානය හා ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ල දිස්වුණා. කොහොම වුණත් අද මං මේ නවාතැනට සමුදෙන දවස. . . . . .
"දමී ඇතුළට එන්න.., පෙබරවාරියේ සීතල හුලං වදින්න හොඳ නෑ. . ."
ඒ ඔල්ගාගෙ කටහඬ. . . .
මං එය නෑසූකන්ව අතීතය ආවර්ජනය කරමින් සිටියා. . . . . .

ඔල්ගා. . . .
මට ඔල්ගාව මුණගැහෙන්නෙ මං අවන්හල් හා සම්බන්ධ පාඨමාලාවකට අයදුම් කරන්න ගිය අවස්ථාවකදි. .  ඇය එම ආයතනයේම ගිණුම් කටයුතු අංශයේ සේවය කරමින් සිටියා. පරිඝණක තිර දෙකක් අතරින්  නිල් පාට ඇස් දෙකක් මං දිහා බලන් හිටියා.
"එයාට තිබුණේ නිල් පාට ඇස් දෙකක්. . . . . ."
මොල්දාවියානු ජාතික මවගේ රතු පැහැයට හුරු කොන්ඩයත්., ඉතාලි ජාතික පියාගේ නිල් පැහැ ඇසුත් ඇයට උරුම වෙලා තිබුණා.  මං පාඨමාලාවට සම්බන්ධ වී කෙටි කාලයක් ගත වෙද්දී අපි අතර තිබුණ හැඳුනුම්කම මිත්‍රත්වයක් දක්වා වර්ධනය වුණා. සුහද හමු කිහිපයකට පස්සෙ අපි බොහොම සමීපයෙන් ආශ්‍රය කරන්න පටන් ගත්තා.
 කාලය ගතවෙලා ගියා. . .
 2007 වසරේ සිසිරයේ හැන්දෑවක අපි මිලානෝ නගර මධ්‍යයේ ඇති අවන්හලක මුණගැහුණා. . .
මේ වන විටත් අපි තීරණයකට එළැඹ අවසන්.

"අපිට පුළුවන් අඩු ගාණකට බිලොකාලයක් (කොටස් දෙකකින් සමන්විත කුඩා මහල් නිවාස ඉතාලියේ හැඳින්වූයේ ඒ නමින්) හොයා ගන්න.."

"අපි ටිකක් මිලානෝ නගර සීමාවෙන් පිටට වෙන්න බලමු...."
එ‍යා සුදුමැලි ඇඟිලි වලින් මර්තීනි වීදුරුවෙ රටා අඳිමින් සිටියා.

"මං දන්නෑ දමී.. ඔයා තැනක් හොයන්න.. අත්තිකාරම් මුදලෙන් කොටසක් අම්මා දෙන්නම් කිවුවා.."

"අම්මගෙ සල්ලි ගන්න එක හිතට හරි මදි මගේ"

"නෑ ඒ ගැන තාත්තාට දැනගන්න තියන එකක් නෑ. . ."

අපි එකට වාසය කිරීමට ගත් තීරණය ගැන ඔල්ගාගෙ පියා ඒ හැටි කැමැත්තක් පෙන්නුම් නොකලත් අවුරුදු විසි තුනක් වයසැ'ති තරුණියකගේ තීරණ මත බලපෑම් කිරීමේ හැකියාවක් මේ සංස්කෘතිය තුළ නොතිබීම හේතුවෙන් ඔහු නිහඬවම මේ දෙස බලා සිටියා. නූගත් වඩුකාර්මිකයෙකු වුණ ඔහුට මම තවත් ඉන්දියන් මැජික්කරුවෙක් පමණක් වුණා. . . .
ඇගේ මව මේ සම්බන්ධයෙන් සුහද ආකල්පයක් දැරුවේ ඇයද මා මෙන්ම සංක්‍රමණිකයෙකු වූ නිසාද., නැතහොත් ඔවුන්ගේ කුඩා නිවස තුළ පෞද්ගලිකත්වය රැක ගැනීම උදෙසා ඔල්ගාගේ පිටවීම අනිවාර්ය වූ නිසාද යන්න අදටත් මට නොවැටහේ. මේ අතර මගේ පූර්ණ අවධානය යොමුවී තිබුනේ මිලානෝ නගරයේ පිරී සිටින මගේ නෑසියන්ගෙන් වහන් වී මේ සියළු කටයුතු සිදුකිරීමටයි. නගරයෙන් මදක් පිටතට වන්න නිවසක් සොයා ගැනීමට මා තීරණය කලේද මේ හේතුව නිසාවෙනි.

සති කිහිපයකට පසු අපි අපේ අළුත් නිවහනට ගොඩවැදුණෙමු..
කාමර දෙකකින්, කුඩා සඳළුතලයකින්, අංග සම්පූර්ණ නාන කාමරයකින් හා සාලයටම ඇල්ලූ අමෙරිකානු තාලයේ කුඩා කුස්සියකින් මේ නිවස සමන්විත වුණා. ගෙදරකට අවශ්‍ය බඩු මුට්ටු සියල්ලක්ම පාහේ එහි තිබූ අතර අපට මිලදී ගැනීමට සිදු වූයේ රූපවාහිනියක් හා ශීතකරණයක් පමණි. (කුලියට ලබා දෙන මෙවැනි නිවෙස් casa arredata (සරසන ලද නිවෙස්) නමින් ඉතාලියේ හැඳින්වෙයි.) නිවසට ඇතුල් වී මාසයක් ගතවූ තැන නිවස අංගසම්පූර්ණ කර ගැනීමට අපට හැකිවිණ.

"මේ තමයි අපේ මාළිගේ. . . ."
නිවසේ පදිංචියට ගිය දින අපි වැළඳගෙන බෙරිහන් දුන්නෙමු.

ඉන්පසු අපේ ජීවිත වේගයෙන් ගලා යන්නට විය. . . . .
අපි එකට කෑවෙමු, බීවෙමු, සයනය කලෙමු, ගමන් බිමන් ගියෙමු. . .
 සියල්ල එලෙස සිදුවෙමින් පැවතිණ.

අදටත් මම ඉඳහිට අතීතයේ එම කාලපරිච්ඡේදයට ගොඩවෙමි. අදටත් මට නොවැටහෙන යම් කරුණු තේරුම් ගන්නට උත්සහා දරමි.
"මම සැබවින්ම ඔල්ගාට ආදරය කලාද..?"
හිතට එකඟව. , අවංකව දිය හැකි සරලම පිළිතුරනම් නැත යන්නයි. මට ඇය ප්‍රියමනාප චරිතයක් විය. ., ඇය සමීපයෙන් සිටින්නට මම ආසා කලෙමි. මව්ගේ ආභාශය හේතුවෙන් ඇය කාර්යශූර, ස්වාධීන තරුණියක් විය. (පැරණි සෝවියට් දේශයෙන් කැඩී ගිය මොල්දාවියා, යුක්‍රේනය වැනි රටවල කාන්තාවන් ස්වභාවයෙන්ම ස්වාධීන දැඩි ගති ඇති අය විය.) ඉවුම්පිහුම් කටයුතු වලදීද ඇය දක්ෂ විය. මට අදටත් ඇයගේ කිසිම වරදක් (මගේ වාසිය පිණිසවත් සොයාගත නොහැකිය. එසේනම් මට ඇය නුරුස්සන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසාද. ?
පළවෙනි තුන්මස ගෙවී ගිය පසු මට ගෙදර රැඳී සිටීම ඒකාකාරී වදයක් වන්නට විය. මම සුපුරුදු ලෙස මිතුරන් හමුවීමට (රස්තියාදු  ගැසීමට) කාලය ගත කරන්නට වුණෙමි. පෙර මා සමග නිතර මිතුරන් මුණගැසීමට,විනෝද වීමට පැමිණි ඇය කෙමෙන් කෙමෙන් ඒ දේවල් මගහරින්නට වූවාය. "අපේ මාලිගය" තුළ සියළු දෙයක්ම අකුරට, පිළිවෙලට සිදුවෙමින් පැවතුණි. වෙනදා අහාරගත් පසු භාජන පිරිසිදු කිරීමට ඇයට උදව්වුණ මම ඒ සියළු දේ මග හරිමින් සිටියෙමි. නිවසට අවශ්‍ය කලමනා ආදිය ගැනීම ඇය තනිවම සිදු කරන්නට විය. මට වචනයකින් හෝ කිසිවක් නොපැවසූ ඇය සියල්ලම මනා ලෙස හසුරුවා ගත්තාය.
භයානක සත්‍යය මට අවබෝධ වෙමින් තිබුණි. . . .
මම ඇයට ආදරය කර නැත.
එසේනම් ඇය සමග එකට විසීමට මම පෙළඹුනේ ඇයි.?
මීට පෙර මා නැවතී සිටියේ මාගේ නැන්දා කෙනෙකුගේ නිවසෙහිය. එහි වූ දැඩි නීතිරීති නිසාවෙන් මම එයින් පිටවීමට තීරණය කර සිටියෙමි. එය හැරෙන්නට මට වෙන කිසිම භෞතික හේතුවක් නොවීය. ඇය සමග ජීවත්වීමට මා ප්‍රිය කළෙමි.
නමුත් මම ඇය තුළින් ඇය නොවෙන කෙනෙකුන් සොයමින් සිටියෙමි. . . .
සොයමින් සිටින්නේ කුමක්ද යන්න පිලිබඳ පැහැදිලි චිත්‍රයක් මා සතු නොවුණි.
එය මගේ අතීත ප්‍රේමයක මතක අවතාරයක්ද..? මගේ ෆැන්ටසි මනෝලෝකයේ නිපැයුමක්ද..? මේ කිසිවක් අදටත් මට විග්‍රහ කර ගැනීමට නොහැකි වූ ප්‍රශ්නාර්ථයන්ය. . . ?

සියල්ල කෙළවරවිය යුතු දිනය එළඹ තිබුණි. . . . . .

මට මතක ඇති අයුරින් ඒ අප අතර ඇතිවුණු දරුණුතම බහින්බස් වීම විය. ඇයගේ ඤාති සොහොයුරියකගේ නිවසක පැවති සාදයකට සහභාගී වීම අරඹයා යුද්ධය ප්‍රකාශ විය. මම හිතාමතාම නිවසට වේලාවට නොපැමිණියෙමි. මම නැවත එනවිට ඇය ගමන අතහැර යුද්ධය පිණිස සූදානම්ව සිටියාය.

"උඹට මොකද වෙලා තියෙන්නෙ. . ? "(උඹ යන අදහස ගම්‍ය වන tu නැමැති යෙදුම ඉතාලි භාශාවේ තමන්ට හිතවත්, දන්නා අඳුනන අය උදෙසා භාවිතාවේ., ඔබ නොහොත් lei, lui යන්න නාඳුනන, ගරුකටයුතු පුද්ගලයන් සඳහා විරළව භාවිතා වේ)
ඇය පළවෙනි බෝම්බය පුපුරවා හැරියාය.
"උඹ අතීතකාමියෙක්. . උඹ මෙහෙ හිටියට හිතින් ජීවත්වෙන්නෙ ලංකාවෙ"
"උඹටම හරියන punkලා ටිකක් උඹට සෙට් වෙලා ඉන්නෙ"
"උඹ යන හැම pub එකක්ම මං දන්නවා..උඹ අන්තිමට ඇවිත් කියන්නෙ පට්ට  පල් බොරුවක්"
"මං මේ හැම දෙයක්ම උඹට නොකියා හිටියේ.. ඒත් අද උඹ මගේ විශ්වාසය කැඩුවා.."
"උඹ වගකීමක් නැති මිනිහෙක්. . . "

ඇය දිගින් දිගටම මට පහර දෙමින් චෝදනා නගමින් සිටියාය.මං නිහඬවම බැල්කනිය දෙසට ඇදුනෙමි. මගේ නිහඬ බවත් සාවඥ සිනාවත් ඇයව වියරු වට්ටා තිබුණි.

දඩාං.....!
මම සාලය දෙසට එබුණෙමි.
මා විසින් වැනීසියට ගිය අවස්ථාවක මා විසින් මිලදී ගත් සිහිවටනයක් ඇය පොළොවේ ගසා තිබුණි. බැල්කනියේ සිටි මා නිවස තුළට ගෙන්වා ගැනීමට ඇයට වුවමනා විය. මම මෙය බලාපොරොත්තුවෙන් සිටියෙමි. මම ගොස් ඇගේ දෙවුරින් අල්වාගතිමි. ඇය වියරුවෙන් මෙන් මට පහර දෙන්නට වූවාය. මිට මොලොවා ඇයට පහර දීමට අකැමැති වූ මම ඇය සමග පොර බදින්නට වුණෙමි. . .ඇය සයනය මතට තල්ලු කර දැමූ මම යළි මගේ ජැකට්ටුව ඇඟලා ගතිමි.
නිහඬතාවයකි. . .
 සයනය මත මුනින්තලා වී සිටි ඇගේ දෙවුර කිසියම් රිද්මයකට චලනය විය. ඇය ඉකිබිඳිමින් සිටියාය.
මම නිවසින් පිට වී ගියෙමි. . . . . . . . . . .

මා යළි නිවසට ඇතුල් වූවේ  තරමක් රෑ බෝ වූවාට පසුවය.
ඇය අවදියෙන් සිටියාය. . .
කෑම මේසය මත වොඩ්කා බෝතලයක් විවර වී තිබුණි. මම වීදුරුවක් හලාගත්තෙමි. ඔල්ගා ඇගේ සුපුරුදු පූස් ගමනින් සාලය පුරා සක්මන් කරමින් සිටියාය. මම මවෙතට එන ලෙසට ඇයට හිසින් සන් කලෙමි. හිස් වූ ඇගේ වීදුරුව මදෙසට දිගු කරමින් ඇය මවෙත පැමිණියාය. අප එක්ව මෙසේ පානය කරන්නේ බොහෝ කලකට පසුවය. මුල් දිනවල විවිධ කොක්ටේල් වර්ග අත්හදා බලමින් අපි සූර් වී ඇද වැටුන අවස්ථා අනන්තය.

"ඔල්ගා.., මම තීරණයක් ගත්තා. ."
මම කථාවට මුල පිරුවෙමි.

"අපිට මේ විදිහට පවතින්න බෑ. ."
ඇගේ සුදුමැලි දිගු ඇඟිලිතුඩු මගේ හිසකෙස් අතර ඒ මේ අත ගමන් කරන්නට විය. මට හුරුපුරුදු වුණු ඇගේ සුවඳ වඩාත් තියුණු ලෙස මට දැනෙමින් තිබුණි. පෙර නොවූ අයුරින් මම ඒ සුවඳ විඳ ගතිමි.

"දමී, මට උඹව බැඳලා තියාගන්න බෑ. . ."
"උඹ මොනවා කිවුවත් අන්තිමට උඹ හොයන්නෙ ඉන්දියන් ගෑණියෙක්ව"
"ඒ මං නෙමෙයි. . . ."
"අනිත් අතට උඹ තවමත් ගතකරන්න හදන්නෙ කොලු ජීවිතයක්. ."

"ඔල්ගා. , මේ හැමදෙයක්ම නිසාවෙන් උඹ මට වෛර කරනවද. .?"
"මට සමාවෙයන්. තව දුරටත් උඹව වෙහෙසට පත්කරන්න මට බෑ"

මගේ දෙකොපුල මත සීතල හාදුවක් පතිත වුණා. .(ඔව්, එයාගෙ හාදු සීතලයි)

"නෑ මං උඹට වෛර කරන්නෙ නෑ. . ."
"හැබැයි එක දෙයක්. , දමී මට සුමානයක් දෙකක් කල් දෙන්න. මට ආයෙමත් ගෙදර යන්න බෑ."
අප සිටි නිවසෙහි කොන්ත්‍රාත්තුව ලියැවී තිබුණේ මගෙ නමට. නමුත් එහි තනිවීමට මට කැමැත්තක් නොතිබුණි. දැන් මට අවශ්‍ය පලායන්න. . .
අනෙක් අතට ඔල්ගාට මවගේ උදවුවෙන් නිවාස කුලිය ගෙවීමට හැකි බව මං දැනන් සිටියෙමි. කොහොමටත් ඒ අවධියේදී ඇය මට වඩා උපයමින් සිටියාය.

"නෑ යන්නෙ උඹ නෙමෙයි මම. . ."
ඇය නිසොල්මන්ව මා දෙස බලා සිටියාය. . .                                            
ඒ පිළිතුර ඇය බලාපොරොත්තුවෙන් සිටි බවක් මට හැඟුණි. . . . .

ඉදිරි සතිය ඉබිගමනින් ගත වී ගිය අතර සියල්ල සාමාන්‍ය අකාරයෙන් සිදුවිය.
දින කිහිපයක්ම අපි අපේ සුපුරුදු අවන්හල්. , මුල් දිනවල අප මුණගැසුණු වටපිටාවන් අතර සැරිසැරූවෙමු. . . මේ අතර අපි අපව යළිත් කියවා ගැනීමට උත්සහා ගතිමු.
ඔල්ගා සැබවින්ම පැහැදිලි ගතිගුණ ඇති තැනැත්තියක් වූවාය. ඇය අකමැති යම් දෙයක් වේද ඇය ඒ පිළිබඳව සෘජුව විරුද්ධත්වය ප්‍රකාශ කලාය. ඇයට හඬන්නට සිතුණු විට ඇය රිසි සේ හඬා වැටුණාය. ඇයට සිනාසෙන්නට වුවමනා වූ විට ඇය රිසි ලෙස සිනාසුණාය. ඊට හේතුව මම විමසුවහොත් ඇය නොපැකිල ඊට හේතුව කියා සිටියාය.

පටලැවුණු නූල් බෝලයක් සේ ජීවිතය පටලවාගෙන සිටියේ මාය.අතීතය හා වර්තමානය අතර මගේ මනස දෝලනය වෙමින් පැවතුණි. මං අයිති කිනම් සංස්කෘතියකටද යන්න මටම ගැටළුවක් වී තිබුණි. ලංකාවේ ගතවුණු අතීතය වරින් වර මා අවට හොල්මං කරයි. ඒ මතක සුවඳක් ගෙනෙන තියුණු වේදනාවකටත් මම පෙම් කරමින් සිටියෙමි. ඔල්ගා සමග එකට ජීවත්වීමට යාම වැනි තඩි රැඩිකල් පිස්සුවක් කෙලීමට මං පෙළඹුනේ මන්ද. . .?
පසුකාලීනව මගේ හිතාදර නෑසියන්ට අනුව එක්කෝ එය වනචරකමය. , එක්කෝ යුරෝපීය සංස්කෘතිය තුළ වල්මත්වීමය. අතැම් විටෙක මට සිතෙන සැටියට ලංකාවේ හිතමිතුරුකම්, ලෙන්ගතුකම් අතරමැද ජීවත් වී ඒ සියල්ල අහිමිවුණ මට මං ගැන වද වෙන අයෙක් වුවමනා වී තිබුණි. (රෑ දොලහේ කණිසම වැදුණ සැනින් දුරකතන ඇමතුම් දීම පසුකාලීනව මට ඇණයක් විය.)  සිද්ධිය සාධාරණීකරනය කිරීමට බයිලා ගැසීමෙන් පලක් නැත. මං තඩි පිස්සුවක් කෙලා තිබුණි.
මා විසින් ඔල්ගාට කරනු ලැබ තිබූ අසාධාරණය අතිමහත්ය. . .
ජීවිතය සැලසුම් කරන අයෙකු වූ ඇය තව අවුරුදු දෙක තුනකටවත් මා සමග ජීවත් වීමට සිතාගෙන සිටි බව මම දැන සිටියෙමි.  (විවාහ වීමක් ගැන අප සිතුවේවත් නැත.)  ඇය මාර්ගයක් තෝරාගෙන සිටියාය. ඒ මාර්ගය මගේ මාර්ගය'යැයි සිතා මම අනෙකාගේ මාවතේ පිස්සු නටමින් සිටියෙමි. .කොටින්ම මම ඇයද අන්දවමින් මාද ඇඳගනිමින් සිටියෙමි. . .
. . . . . . . . .      . . . . . . . . .       . . . . . . . . . . .   . . . . . . .

අධිවේගී මර්ගයේ ගමන් ගන්නා රථපෙල කුඩා ගිනි පෙට්ටි පේලියක් මෙන් දිස්වෙයි. වාහන මෙතරම් සෙමින් ගමන් කරන්නේ ඊයේ ඇති වූ අධික හිම පතනය නිසා විය යුතුය. නැතිනම් මෙම මර්ගයේ ඉගිලෙන ගිනිපෙට්ටි විනා ගිනිපෙට්ටි පෝලිමක් දැකීම උගහටය. මම මේ සඳලු තලයේ අවසාන සෞන්දර්යයත් විඳගෙන සාලයට ඇතුල් වුණෙමි. . . .

පුටුසැටියේ ඇයට පුරුදු මුල්ලේ සුපුරුදු ලෙසට ගුලිගැසී ඇය උන්නාය. ඇගේ දෙනෙත් තඩිස්සි වී තිබූණි. අද උදෑසන අවදී වී නානකාමරය තුළට වැදී සිටි මොහොතේ ඇය ඇතිතරම් හඬන්නට ඇත. (ඇය බොහෝවිට ඇතිතරම් හඬන්නට තෝරාගත් ස්ථානයකි නානකාමරය. එවන් අවස්ථාවක ඇයට අවහිර කිරීමට මමද අකමැති වීමි.)  ඔල්ගා හඬා වැටුණේ මා වෙනුවෙන්ද, මං නිසා සැනින් අස්ථිර වී ගිය ඇගේ ජීවිතය වෙනුවෙන්ද යන්න මං අදටත් නොදනිමි.
මං වකුටු වී සිටි ඇගේ දෙපා මගේ උකුල මත තබා ගනිමින් ඇය අසලින් හිඳගතිමි.  මේ වන විට නැවත ඇය සමග යහන්ගත වන්නවත්. , පෙර පරිදි ඇසුරු කරන්නටවත් යළිත් නොඑන වගට මම මා හටම සපථ  වී සිටියමි.
මට තවත් අයෙකුගේ ජීවිතයක් දැන දැනම අවුල් කිරීමට කිසිම යුක්තිසහගත අයිතියක් නැති බව මං වටහාගෙන සිටිමි. . .  හමුවීම් සුහද හමුවීම් පමණක්ම වනු ඇත. . . . .

"ඉතිං ඔයා දැන් ඔය යන තැන සේරම හරිද. ?"
ඇය නිහඬබව බිඳ දැමුවාය.

"ඇයි මං කලිනුත් කිවුවෙ, මමයි තව මගෙ යාළුවෙකුයි ඉන්නෙ.
ඔයා දන්නවා යාළුවාව. ."

"කවුද. . .?"

"රොශ්. බුද්ධා බාර් එකේ වැඩ කරන්නෙ. . ."

"ආ. . .  නියමයි. ."
(රොශ් නොහොත් රොශාන් මගේ ශ්‍රී ලාංකික මිතුරන් අතරින් ඇය වඩාත්ම ගරු කල තැනැත්තා විය.)

"දමී. . ., ගිහින් හොඳින් ඉන්න. . .
ටිකක් වගකීමකින් වැඩ කරන්න බලන්න. පහුගිය සතිය පුරාම මං මේක ඔයාට කිවුවා. මං කියන්න යන දේ උඹ දන්නවා. "
ඇගේ නිල්පැහැ නෙතු මත නලියන කඳුලු බිඳුවක් තිබුණි.

නිල් පාට ඇස් (හරියටම කියනවනම් ලා නිල් පාට) කියන්නෙ මහ පුදුම දෙයක්. ඒවා හරිම ලස්සනයි. . . ඒත් අර කවියන් පට්ට ගැසූ විදිහට "නීල නුවන් යුග" කියලා කියද්දි එන හැඟීම එතන නෑ. නිල් පාට ඇස්වල හැඟීමක් නෑ. කළුපාට ඇස් දෙකක තියෙන කවිය එතන නෑ. හරියට ෆ්ලෑශ් ලයිට් වගේ ඒවා අපි දිහාට දැල්විලා තියෙනවා විතරයි, නිල් පාට ඇස් කියවන්න බෑ. ඒත් ලස්සනයි. මං ඔල්ගාගෙ ඇස් වලට ආස කලා.

"වෙලාවක් තිබුණොත් මාව බලලා යන්න එන්න. මං කොහොමටත් ටික කාලයක් තනියෙන් ඉන්නවා. . . ."

"ගෙවල් කුලී වලට ප්‍රශ්ණයක් ආවොත් මට කියන්න. . . මං උදවුවක් දෙන්නම්. . ."

"නෑ දමී, අම්මා ගාණක් දෙන්නම් කිවුවා. . . . පස්සෙ මගෙ නැන්දා කෙනෙක්ගෙ දුවෙක් එනවා මොල්දාවියා ඉඳන්. . ."

"උඹලගෙ අම්මා මුලු මොල්දාවියායම ගෙන්නනවා නේද ඉතාලියට"
මම සිනාසෙමින් ඇසුවෙමි. ඇගේ මව බොහෝ නෑදෑ හිතමිත්‍රාදීන්ට ඉතාලියට ඒමට උපකාර කල අයෙකි. ඔල්ගා සිනාසෙයි. . .ඇයට ඇත්තේ සුන්දර සිනාවකි. සිනාසෙන අතරතුර වරින් වර ඇය යටිතොල සපාගනියි.

"දමී, මං ඔයාට දෙයක් කියන්නද?  උඹ දකුණු ආසියාවයි, යුරෝපයයි අතරින් එකක් තෝරගනින්. . .නැත්නම්
උඹ උඹේ ජීවිතයට ලොකු අපරාදයක් කරගන්නෙ. . ."

"මට වෙලාවකට හිතෙනවා ඔල්ගා ලංකාවට යන්න. ගිහින් කොතනින් හරි ජීවිතය පටන් ගන්න. . ."

ගොඩනැගිල්ලට ඇතුල් වන දොරටුව විවර කිරීම සඳහා ඇති දුරකතනය නාද වන්නට විය. මගේ බඩුබාහිරාදිය ගෙන යෑම පිණිස මම කාර් රථයක් ඇති මගේ ශ්‍රී ලාංකික මිතුරෙකුට පැමිණීමට පවසා තිබුණි.  මම දොරටුව විවර කර බැල්කනියට ගොස් බැලුවෙමි. මහල් නිවාස සංකීර්ණයට ඇතුළු වන දොරටුව
එතනට දිස් වෙයි.
"අප්පට සිරි . . . .!"  මුන් හතර දෙනෙක්ම ඇවිත්ය. යාළුවන්ගේ හැටි එහෙමය. මගේ යාලූවන් යනු පිස්සන් කොට්ඨාශයකි. හතර දෙනෙකු පැමිණි විට බඩු දමන්නේ ඔළු ගෙඩියේදැයි මුන්ට වටහා ගැනීමට නොහැක. එක අතකට අවුලක් නැත දෙදෙනෙකු  මගේ ස්කූටරයේ පිටත් කල හැක. වැඩ දෙකක්ම එයින් සිදුවෙයි. කෙසේ නමුත් මෙවැනි දේශදීපංකරයකත් සැබෑ මිතුරන් ලැබීමට මං පින් කර ඇත.

මං ලක ලෑස්ති කරන ලද මගේ බඩු බාහිරාදිය මිතුරන්ගේ උදව්වෙන් වාහනයට පැටවීමි. අප විසින් එක්ව මිලදී ගන්නා ලද සියලු දෑ ඔල්ගා විසින් බෙදා වෙන්කර තබා තිබුණි. විමතියට පත්වීමට කරුණක් නැත. එය යුරෝපීය සහවාස ක්‍රමයේ නිල නොවන රෙගුලාසියකි.  එක් අතකට එය වෙන්වූ පසු කිසිවෙකුට තම තමගේ ද්‍රව්‍යමය වස්තූන් ගැන පසුතැවීමට ඉඩක් නොතබන ක්‍රමයකි. තවත් අතකට එක ප්ලේන්ටිය තුන් හතර දෙනා බෙදාගෙන ගැසූ මගේ ශ්‍රී ලාංකික අධ්‍යාත්මයට මේ භෞතිකය විහිලුවකි.

සියල්ල වාහනයට පැටවූ පසු මම ඔල්ගාගෙන් සමුගැනීම පිණිස යළිත් විදුලි සෝපානයට ගොඩ වුණෙමි. මේ නිවාස සංකීර්ණයේ අන් බොහෝ තැන්වල මෙන්ම මේ විදුලි සෝපානයේද අපේ මතකය රැඳී පවතියි. ගතවූ සය මසක් වැනි කෙටි කාලය තුළ සිදු වූ සියලු දෑ පින්තූර පොතක් සේ මගේ මනසේ පිටු පෙරළෙයි. මං දෙනෙත් වසාගෙන ඒ තුළ දැනෙන්නා වූ සියලු හැඟීම් ආස්වාදනය කලෙමි.
මා නිවසට ඇතුළු වන විට ඔල්ගා මා විසින් බඩු ලක ලෑස්ති කරගැනීමේදි අනිත් පැත්ත පෙරලූ නිවස අස්පස් කරමින් සිටියාය.

"ඔල්ගා. , .මං යනවා. . . යතුරු සේරම මෙතන තියෙනවා. . . ."
නිවසේ යතුරු කැරැල්ල යතුරු රඳවනය මත එල්ලමින් මම පැවසීමි.

නිල් පාට ඇස් මගෙන් වසන් කරගැනීමට ඇය වෙහෙසුණාය. . .
"ඔයා දැන් නෙමෙයි යන්නෙ. . . ඔයා ගියේ මීට ගොඩක් කලින්. . මීට මාස  ගාණකට ඉස්සර. මං මේ අවසානය දැනන් හිටියා දමී"

"මට සමාවෙන්න. , තව දුරටත් මං ඔයත් එක්ක ඉන්න එක මං ඔයාට කරන  අසාධාරණයක්. . ."

"යන්න ගිහින් හොඳින් ඉන්න. , ආයෙ කවදාවත් තමන්ගෙ ජීවිතය එක තැනක තියාගන්න පුලුවන් වෙනකම් කාත් එක්කවත් එකට ජීවත් වෙන්න යන්න එපා. . . මං කියන්න හදන දේ ඔයා දන්නවා. . . . ."

අපි ජීවිතයේ අවසන් වරට සිපවැලඳ ගතිමු. . . . . . කොපමණ වේලාවක්ද යන්න මට මතක නැත. සීතල හාදු වැස්සක මම ගිලී සිටියෙමි. . . . .

"මං යනවා. .හොඳින් ඉන්න. . ."

"ඔයත් හොඳින් ඉන්න. . . ."

"ciao. . . . . . ."
        ". . . . . . . . . .ciao"

මම නපුරු සොඳුරු සිහිනයකින් අවදි වුණෙමි. . .
මෙය කඳුළු කතාවකට වඩා අවබෝධයේ කතාවක් ලෙස මට හැඟෙයි. ජීවිතය ගැන කියන්නට. , හිතන්නට තවත් කථාවක් ඉතිර කර තබා කතාව අහවර වී තිබුණි.
අදටත් මම මගේ දකුණු ආසියාතික අධ්‍යාත්මය හා යුරෝපීය භෞතිකය ගලපා ගන්නට නොහැකිව සිටිමි. ජීවිතය වරාමලක් සේ පාවෙයි. . . . . එය කෙදිනක හෝ කොතැනක හෝ මුල් අදිනු ඇත. . . .

මේ කතාව ඔබට මොන තරම් අදාල වේදැයි මම නොදන්නෙමි. ලියන්නන් වාලෙ ලියා තැබුයෙමි. . . . . මන්ද හෙට මේ දැනෙන හැගීම් හිම මිදෙන සීතලට ගල් විය හැකි බැවිණි. . . . , හෙට ඉල්ලුමට සැපයුමට කැරකෙන  ලෝකයක මම මා නොවන වෙන එකෙකු විය හැකි බැවිණි. . . . . .

Tuesday 6 September 2011

කෙහෙල්මල් ශිෂ්ටාචාරය. . .

වෙලාවට කලින් හිරු බැස ගිය
මළානික හැන්දෑවක. ,
පාළු හුදෙකලාවක. . . . . .
මං ජීවිතේ මංසලකට 
පැමිණ සිටියෙමි. . . . . 

මම නැවත ඉපැදිය යුතු විය. . . .

හතිවැටුණ සම්ප්‍රදාය. ,
ඊනියා සාරධර්ම,
අපැහැදිලි සංස්කෘතිය. ,
මෙකී නොකී ජීවිතය කොටු කරගත්
සකලවිධ වැටකඩුළු
ගිනි තබා අළු කලෙමි. . . .

අන්තිමේදි මං නිදහස්. . . . . . . .

ඉතිං. . . 
දැන් මට පුළුවනි
බොළඳ. , ප්‍රබුද්ධ
උගත්. , නූගත්
ශිෂ්ට., අශිෂ්ට
මේ හැම වටපිටාවකම
නිදහසේ සැරිසරන්න. . . . . . . 

වළාරොදකටත් වැඩි සැහැල්ලුවෙන්
ජීවිතය පාව යයි. . . 
බලන් සකිසඳ 
ජීවිතය පාව යන අපූරුව. . . . .
 

Friday 2 September 2011

මගේ පාපොච්චාරණය නොහොත් psycho poem එක.


ජීවිතේ නිරර්ථක ප්‍රයත්නය තුළ
හති වැටී මම හිඳිමි. . . .
මම ලොවින් කිත් පැසසුම් ලැබ
මගේම සිතින් ගැරහුම් ලබමි. . . . .

මා අවට සිනාසෙන මුහුණු සැරිසරණ.,
භෞතිකයේ සාර්ථකත්වය වෙත
සමාන්තරව දිවයන. . .
(තමා විසින්ම චලනය කරන,
නිරුත්සහායෙන් චලනය වෙන
homo sapiens robotic version එක තුළ
සිරවී සිටිමි මම. . )

මම විත්ති කූඩුව තුළ හිඳින
හෘදසාක්ෂියේ යුක්ති අධිකරණය තුළ
මට නුඹව යළි වරක් මුණගැසුණි. . . . .
පැමිණිලි පාර්ශ්වය අතර මැද
පළමුවැනි පැමිණිල්ල වී ඔබ හිඳියි. . . . .

"අමා. ,  මට සමාවෙන්න. . . "
. . . මං හිතන් හිටියෙ
සමාන්තරව සමීපයෙන් ඇදී යන
සරළ රේඛා දෙකක් වගේ
අපිට අනන්තය තෙක්
ගමන් කරන්න පුළුවන් කියලා. . . . .

ඒත්. . . ඒත් මං
නන්නාඳුනන දීපංකරයක
සංකීර්ණ නූතන ධනවාදී ද්‍රාවනයක් තුළ දියවුණා. . . . . . . .

ඉනික්බිති. , කල්ප කාලයක් ගත වුණා. . . . .  . . .

අමා. ,
"අපේ ආදර කතාව" නිමවෙලා නෑ තවම. . .
සුවහසක් ප්‍රේක්ෂක ජනතාව
බලාගෙන ඉන්නවා. . .
ගල්-මුල්, අපහාස, ගැරහුම්
පොදි බැඳන්. . . .

අමා. , එන්න මා එක්ක. .
ලෝකයට නොව අපට ඕනි විදිහට
මේ ජීවිතය ජීවත් කරවන්න. . . . .
මට පිස්සු. . . ඔයා හැමදාමත් කියපු විදිහටම මට පිස්සු
සමහරවිට දැනටමත් ඔයා ඉන්නෙ
ආපහු හැරෙන්න බැරි තරම් දුරක. . .  . . .

ඒත් හිත හදාගන්න බැරිවෙයි මට. . . .

අමා. , මට ඉඩදෙන්න. . .
එකම එක වරක් ඉඩදෙන්න,
ජීවිතය යළි වරක් අරඹන්න. . .
අපේ අන්තිම නිමේෂයේ
ඔයාව ගෙදර ඇරලලා මං ගියපු
ඒ මොහොතෙ ඉඳන් ජීවිතය යළි වරක් අරඹන්න. . . .

අමා. ,
මට ඕනි ඉස්සර වගේ
ජීවිතයෙ පාරභෞතික යථාර්තය හොයන් යන්න. . .
ඔයාගෙ උකුලෙ ඔළුව තියන් ඉන්න. . . .
ලොකු මිනිහෙක් නොවී
හොඳ මිනිහෙක් වෙන්න. . . .
කවියක් ලියන්න. . .
කොළඹ ඉඳන් මාතරට කෝච්චියෙ එන්න. . .
සයිවර් කඩේකින් ප්ලේන්ටියක් ගහලා
ඔයා එනකම් මග බලන් ඉන්න. . .
පුංචි දේකින් සතුටු වෙන්න. . .
මට ඕනි ඉස්සර වගේ ජීවත් වෙන්න. . . !

මේවා හීන. .
මට කවදාවත් එළිනොවෙන හීන. . .

දැන් ඔයා වාගෙම
මේක බලන උනුත් කියයි
මට පිස්සු කියලා. . . . .
අවුලක් නෑ. ,
කැමති කෙනෙක්, කැමති විදිහකට, කැමති දෙයක් හිතාගන්න. . .
මගේ අකමැත්තක් නෑ. . . . .

මේ කවිය (කවිය.?)
රළු වැඩියි නේද. .?
පදපේලි ගොරහැඩියි නොවෙද. ?
ඇරත්. ,
අතීතයෙ දුහුවිලි හුලඟක ගසාගෙන ගිය
අපේ ආදරයට
සුන්දර උපමා-උපමේය කුමටද. . ?

කවුරු වුණත්
මගෙ psycho poem එක
ඉවසීමෙන් කියවන්න. . . . .

සුන්දර හීන වලින් පිරුණු ජීවිතයක
බය හිතෙන යථාර්තය මේක. . . .
කාලය ඉගිලිලා ගිහින් අහවරයි.
මට අවසාන දුම්රිය අල්ලා ගැනීමට නොහැකි විණ. . . .   . . .  . .  .