Sunday 11 September 2011

සිරගත මිතුර. . .පසුවදනක්.

මගේ සිරගත මිතුරා ගැන පසුවදනක් ලියන්න හිතුණා. . . . .
                                               
         මට මධූ මුණගැහෙන්නෙ 2002 වසරෙදි. මගේ මතකයේ හැටියට මාතර බස් ස්ටෑන්ඩ් එක ලඟ නෙස්කැෆේ කඩේදි. . . එතන ඉඳන් අපි දුර ගමනක් ගියා. . . . 
මධූ., ඌ සංවේදී හිතක් තිබුණ, ජීවිතය දිහා අලුත් විදිහට බලන්න උත්සහා කරපු, ලංකාවෙ සමාජ ක්‍රමය තුළ තියෙන කුහක මනස්ගාතයන් එක්ක නිරන්තරයෙන් ගැටුණ තවත් එක විප්ලවකාරී පුද්ගල ආත්මයක්...,
 තමන්ට සමාජ ක්‍රමය විසින් දෙනු ලබන හැඳුනුම්පත විසිකරලා, තමන්ගෙ හැඳුනුම්පත හොයාගන්න දඟලපු එකෙක්. 
මගෙත්, මධූත් අතර මතවාදී වශයෙන් නිරන්තරයෙන් ගැටෙන අදහස් වගේම බොහොම ළඟින් ගමන් කරන අවබෝධයක් තිබුණා. මාතර බස් ස්ටෑන්ඩ් එකේ ගිනි ගහන දූවිලි හුළඟටත්. , රුහුණුපුරේ මුහුදු වෙරළේ ඉර බහින හැන්දෑවකටත් අපි එක වගේ ආදරය කලා. අතිශයින් ප්‍රතිවිරුද්ධ සෞන්දර්යයන් සෞන්දර්යාත්මකව අත් විඳින්න ප්‍රගුණ කරමින් සිටියා අපි. . . .
මේ ශිෂ්ටාචාරයේ. ., සම්ප්‍රදායේ පටු නිර්වචන එක්ක එක වගේ හැප්පුනත් ජීවිතය ජීවත් කල යුතු ආකාරය ගැන අදහස් පළ කරද්දී අපේ මතවාද නිතර ගැටුණා. බැඳීම් වලින් මිදෙන්න ඕනි කියන මගේ හිප්පි ෆැන්ටසි එක මධූ නිතරම විවේචනය කලා. මට හිතෙන්නෙ මධූට ලස්සන සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගත කරන හීනයක් තිබුණා.  (ඒ වකවානුවෙදි මිනිහට පෙම්වතියක්වත් හිටියෙ නෑ).  ජීවිතය ගැන කියන සමහර සාම්ප්‍රදායික මතවාද වලට මධූ ඇලිලා හිටියා. ඒ මධූගෙ පවුල තුල තිබුණ සමහර ප්‍රශ්ණ නිසාවෙන්ද කියන එක මට අදටත් පැහැදිලි නෑ.
මගේ "පාවෙන වරා මල් න්‍යාය" ගැන. , රස්තියාදු වෙන "හිප්පි හීනය" ගැන මධූ මාත් එක්ක දිගින් දිගටම තර්ක කරමින් සිටියා. ඒ අමාගෙ (මගේ පරමාදර්ශී ආදරය) ඇතුල් වීමත් එක්ක මගේ ජීවිතේ හිප්පි ෆැන්ටසිය දෙදරුම් යමින් තිබුණ කාලය.
මගේත් අමල්කාගෙත් ආදරයට නිරන්තරයෙන් ආශිර්වාද කරපු. , ඒ අතර ඇතිවුණු ප්‍රශ්ණ 
වලදි මට අවවාද කරපු මධූ . . ., මගෙත් අමාගෙත් ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා විශ්වාස කළා.
               ඒත් අද ඒ සුන්දර අතීතය බොඳවෙමින් පවතිනවා. . . . . . .
අමාත්. . ,මධූත්. . . .සහෘද පිරිවරත් මට දුර ඈතයි. ඒ හැමෝගෙන්ම වෙන්වෙලා 2005 වසරේ මං ලංකාවෙන් පිටවීමත් එක්ක අපේ ජීවිත තීරණාත්මක විදිහට වෙනස් වුණා. . . මධූ පස් අවුරුදු සිර දඬුවමක් ලැබිලා සිරගත වීම මගේ ජීවිතය තුළ මට අහන්න ලැබුණ කාලකණ්ණිම ආරංචි වලින් එකක්. ඌ එතරම් දීර්ඝ කාලයකට සිරගත කළ යුතු මිනිහෙක් නොවන බව මං දන්නවා.
            දැන දැන  බරපතල වැරදි කරපු, කරමින් ඉන්න. . .සමාජයේ ප්‍රසිද්ධව පෙනී ඉන්න මිනිස්සු දහස් ගණනක් නිදහසේ ජීවත් වෙන. , දේශයේ අනාගතය තීන්දු වෙන මහා පරිමාණ වැරදි සංවිධානාත්මකව සිද්ධ වෙමින් පවතින යුගයකදි ජීවිතේ පළවෙනි වතාවට බරපතලක් නොදැන වරදකට අත පොවන තාරුණ්‍යය හිරකරලා කැකිල්ලේ සිස්ටම් එකේ නඩු තීන්දුවක් දීලා තාරුණ්‍යය මරා දමන එක
මොනතරම් කාලකණ්ණිද. ? ඛේදජනකද. . ?
"අපරාධය හා දඬුවම ගැන් පමණක්ම උනන්දුවෙන. , එතනින් එහාට අපරාධයට හේතුව හා ඊට පිලියම ගැන හොයන්නට උත්සහා නොකරන. . . . . , පටු සීමිත ලෝක වල හිරවුණු., චින්තන දරිද්‍රතාවයෙන් පෙලෙන සමාජ ක්‍රමයක් ඇතුළෙ අවුරුදු පහක් ගෙවෙනකම් බලා ඉන්නවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ.

මාතර බස් ස්ටෑන්ඩ් එක පහුකරන් යද්දී හෙට දවසකට මගෙ හිතට මහා හිස් බවක් දැනේවි.  නෙස්කැෆේ කඩේ ඇතුලෙ ඉඳන් අත වනන උඹේ නිර්ව්‍යාජ හිනාවත්. . , අකුරැස්ස හෝල්ට් එකේ ඉඳන් බලන් ඉන්න අමාගෙ තරු ඇසුත් නැති හිස්බව මට හොඳටම දැනේවි.
       අපි වෙනස් කරන්න දඟලපු ලෝකයම අපිව වෙනස් කරලා. . . . . .
ඒත් මේ මොහොතෙදිත් අදට වඩා යහපත් හෙට දවසක් ගැන තියෙන බලාපොරොත්තුව මධූගෙ හිතින් මැකිලා ගිහින් ඇති කියලා මං හිතන්නෙ නෑ. අපේ වරිගයේ කාටවත් සමාජය අපේක්ෂා කරන සිවිල් පොරවල් වෙන්න බැරිවෙයි කවදාවත්ම. දීර්ඝ කාලීන පාඨමාලා වලින් පස්සෙ මං ඒක තේරුම් ගත්තා. උඩුගම් බලා පීනන්න උත්සහා කරමින් ඉද්දි චාටර් වුණ මධූ ගැන මං ආඩම්බර වෙනවා. . . බොහොම සාර්ථක ලෙස ගඟ දියේ ගහගෙන යන පරඬැල් වගේ පුද්ගල ආත්ම තියෙන භෞතිකව සාර්ථක වුණ යාළුවො කවුරුවත් දිහා බලලා ඒ වගේ ආඩම්බර වෙන්න බැරි වෙයි මට.
අර්ථ ශුන්‍ය සංකර ජීවිතය අත හැරලා තීරණාත්මක ජීවිත ගමනක් යන්න පටන් ගන්න කාලය හරි කියලා හිතෙනවා මට. ඉදිරි කාලයේදි. . ., නුදුරේම මට මධූත්. ., තවත් පැරණි ගමන් සගයිනුත් මුණ ගැසේවි. එතනින් එහාට අපි කවුරු එකම මාවතක සමීපයෙන් ගමන් කරයිද කියන එක මං දන්නෙ නෑ.  ඒත් මං ඒ මග හැරුණු අතීතය හොයන් එනවා.
             මගේ අතීත ජීවිතයත් එක්ක ගණුදෙනුවක් තියෙනවා මට.  මට ඒ අතීතයෙන් ඉතිරිවුණ ශේෂය දැක බලාගන්න ඕනි අතීතය ගැන හොල්මන් කරන හැම මතකයකම මධූගෙ සේයාවක් තියෙනවා. . .
            අපි හැමෝගෙම ජීවිත ගැන සුබ ප්‍රාර්ථනයක් කරලා මං අනාගතයෙ එළිපත්තට වෙලා බලන් ඉන්නවා. මට අපේ උන් සේරම හොඳින් ඉන්නවා දකින්න ඕනි. . . .!!!
            ඉතිං එතෙක්. . . .
                    මතු සම්බන්ධයි. .
(". . එහෙනම් මචං, මතු සම්බන්ධයි..."  ඒක මධූ අපේ සෙට් එකට අරන් ආපු neo social  word එකක්. . .)

8 comments:

  1. සංවේදී හිතක් තිබුන මනුස්සයෙක් හැටියට මම මධූව දකින්නෙ ඔයා ලියලා තිබුන දේ අනුවයි. මධූට හිරේ යන්න තරමට උන වරද ගැන නම් සඳහනක් නෑ.. සමහර විට හේතුව ලොකු උනත් පොඩි උනත් අපේ රටේ වරදේ ප්‍රමාණයට දඬුවමක් හෝ සාධාරණයක් කවදද ඉෂ්ඨ උනෙ.....

    සංවේදී කතාවක් දමී

    ReplyDelete
  2. @දිල්.,
    මධූ කියන්නෙ ඇත්තටම සංවේදී හිතක් තිබුණ කොල්ලෙක්. ඒ වගේම ලස්සන කෝණයකින් ජීවිතය දිහා බලපු කොල්ලෙක්. ජීවිතය ගැන, සමාජය ගැන ගැඹුරින් කතාබහ කරන්න මට හිටපු යාළුවෙක්. මධූට හිරේ යන්න වුන හේතුව ගැන අහන නිසා සඳහන් කරන්නම්......

    මධූ මමත් දන්න කියන අපේ තව යාළුවෙක්(ඌ නම් දඩ මදාවියෙක්) එක්ක ඉද්දි ඒ යාළුවත් එක්ක අත්අඩංගුවට අරන්. අර යාළුවගේ අතේ ආයුධයක් තිබිලා තියෙනවා.(ගල්කටස් එකක්). ඒ ආයුධය මීට කලින් වෙනත් අපරාධයකට භාවිතා කරපු දෙයක්. මේ නඩුවෙන් මධූට පොලීසිය තුලදීම නිදහස් වෙන්න තිබුණා. ඒත් මෙතන හිටපු CRIME BRANCH O.I.C සහ court sargent මධූත් එක්ක එච්චර හිත හොඳකින් හිටපු අය නෙමෙයි. උන් මේ නඩුවට මධූවත් තියලා හිර කලා. දේශීය ආයුධ ගැන තියෙන වගන්තිය යටතේ තියෙන දඬුවම මධූට හිමි වුණා. පොතේ ලියලා තියෙන විදිහට වැඩේ සිද්ධ වුණා. එච්චරයි. එතනින් එහාට නඩුකාරයට මොකටද මානුෂික හේතු..
    ඔන්න ඕකයි කතන්දරේ...
    thnx දිල් කොමෙන්ටුවට...මේ කොමෙන්ටු තමයි මාව ලියන්න පොළඹවන උත්තේජක.

    ReplyDelete
  3. පාප මිත්‍ර සේවනය...කරන්න දෙයක් නෑ..මධූට මොනතරමක් හීන තිබුනත්..ජීවිතය ගැන හරි ඉලක්කයක් තිබුනත්..එක සිදුවිමකින් ඒ දේවල් නැතිවෙලා. හැබැයි එක දෙයක්....මධූ ඔතැනින් ආවට පස්සෙ එයාගෙ ජීවිතය වෙනස් වෙයි කියලා මට හිතෙනවා. මොකද හිර ගෙදර කියන්නෙ විහිළුවක් නෙමේ..හොඳ ගතිගුණ තියෙන කෙනෙක්ව හරි වෙනස් අරන්න පුළුවන් සත්තු ඉන්න තැනක් නෙ...

    ReplyDelete
  4. දමියගේ සටහන් කියවන්න මම අදයි එකතු වුණේ ! .. මාරම ලස්සනට සංවේදීව ලියලා තියනවා ..

    ආයෙත් එන්නම් ..

    ReplyDelete
  5. සඳරු.., සාදරයෙන් පිළිගන්නවා..
    බොහොම ස්තුතියි යාළුවා..!
    ඉඩක් තියෙන වෙලාවක ඇවිත් යන්න මිලානෝ අහස යටට..

    ReplyDelete
  6. අද තමා මම ඉස්සෙල්ලම මිලනෝ අහසේ ලස්සන බැලුවේ ...මාර ලස්සනයි..මම හැමදාම එනවා....දමියාගේ ඔක්කොම කියවනවා....

    ReplyDelete
  7. සමාජය දුන් හැදුනුම් පත විසිකල එකෙක් <3

    ReplyDelete
    Replies
    1. Mahiya.. Mata ayeth kiyanna hthenawa ban...

      Delete